අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශයයි මට අත්සන් කරන්න ලියවිලි හදාගෙන ගේන හින්දයි වනාතවිල්ලුවේ සැකකරුවන් නිදහස් කිරීමට අදාළ ලිපිය අත්සන් කළේ – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

ඉකුත් වසරේ පාස්කු ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වන දින ප්‍රහාරය එල්ලවීමට සුළු වෙලාවකට පෙර, මෙරට වේලාවෙන් පෙරවරු 08.02ට පමණ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඒ වනවිට සිංගප්පුරුවේ රැඳීසිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතුමක් ලබාගෙන ඇති බව ජනාධිපති කොමිසමේ දී ඊයේ (14) අනාවරණය විය.

කෙසේවෙතත්, ජනාධිපති කොමිසම හමුවේ තෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය යනු “වළක්වා ගැනීමට තිබූ ප්‍රහාරයක් වළක්වා නොගැනීමක්” වන බැවින් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ විශාල පිරිසක් අතරේ වගකීම බෙදීයන බවය.

එසේම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු මාස 03ක් ගතවීමටත් පෙර නිදහස්කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී ඊයේ අනාවරණය වී තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ තෙවන දිනටය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව ප්‍රශ්න කර සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලයට පැමිණිය යුතු, නොපැමිණිය යුතු අය තීරණය කිරීමේ බලය පැවතියේ කාහට ද යනුවෙනි.

එම තීරණය ගැනීමේ බලය ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවති බවත්, තම තීරණය අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් කැඳවීම් සිදුකරන බවටත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේ ඔබ විසින් ජාතික ආරක්ෂක කවුන්සිලයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවීමක් කළේ කුමන පදනම් යටතේ ද යන්නය.

“අවශ්‍යයි හිතෙන අයවයි කැඳෙව්වේ. විරුද්ධ පක්ෂයේ වුණාට මට විශ්වාස මගේ පක්ෂයේ අය. මතක විදිහට හතරදෙනෙක් විතර කැඳෙව්වා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම අවස්ථාවේ රටේ පැවති තත්ත්වයට ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රතිචාර දැක්වුවේ කොහොමද කියලා මට ඔවුන්ට අවබෝධයක් දෙන්න අවශ්‍ය වුණා. පාර්ලිමේන්තුවේ මං වෙනුවෙන් කථාකරන්න කෙනෙක් හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කවුන්සිලය ගැන කවුරු හරි ප්‍රශ්න කළොත් මං වෙනුවෙන් පිළිතුරු දෙන්නයි ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සිලය ගැන අවබෝධයක් දුන්නේ,”යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“2018 වර්ෂයේ ඔක්තෝබර් 26 ඉදලා දෙසැම්බර් 16 දක්වා පැවති දින 52 ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාව ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවීමක් කළාද…? ,” යැයි ‍රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසීය.

“නැහැ කැඳෙව්වේ නැහැ. මොකද ඒ වනවිට තිබ්බ දේශපාලනික අර්බුදයයි, පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී වතාවරණයයි එක්ක එතුමා කිව්වා දැනට සහභාගී නොවී ඉන්නම් කියලා. ඒ ගැන අපි සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිත් තිබුණේ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

එසේනම් එම දින 52 කාලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණාම ඔබ ඔහුට ආරක්ෂක කවුන්සිලයට කැඳවීමක් කළා දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියා ය.

“ගැසට් එක අනුව අගමැතිවරයා ආරක්ෂක කවුන්සිලයට ගේන්න කියලා නියමයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගෙන්නුවද නැද්ද කියන්න නම් මට මතක නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“ඒ වනවිට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වික්‍රමසිංහ අගමැතිවරයාව කැඳවන්න ද කියලා ඔබෙන් ඇහුවාම ඔබ ඔහුගෙන් ඔයාට පිස්සුද කියලා ඇහුවා යැයි හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දී තිබෙනවා නම් ඔබ ඒ ගැන මොකද කියන්නේ,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසු විට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ “මම ඒ වගේ වචන භාවිතා කරන්නේ නැහැ ස්වාමිනී,” යනුවෙනි.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදීන් මෙවැනි ප්‍රහාරයකට සුදානම් වන බවට සිදුවූ අනතුරු ඇඟවීම් කෙරෙහි හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළාය.

“හිටපු ජනාධිපතිතුමනි, 2018 වර්ෂයේ දෙසැම්බර් මස අගභාගයේ අන්තවාදීන් විසින් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදුකිරීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, කබීර් හෂීම් අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයාට වෙඩිතැබීම සහ අවසාන වශයෙන් ප්‍රහාරයට පෙර අප්‍රේල් 16 පෙර පුහුණුවක් ලෙස යතුරුපැදි බෝම්බයක් පුපුරුවා හැරීම. ඔය කියන සෑම සිදුවීමක්ම වෙද්දි මේ රටේ විධායක ජනාධිපතිවරයා, නීතිය හා සාමය විශය භාර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වුණේ ඔබ. එහෙම තියෙද්දි ඔබ ඔබේ යුතුකම් වගකීමෙන් ඉෂ්ඨ කළා නම් කොහොමද 2019 අප්‍රේල් 21 දිවයිනේ ස්ථාන 08ක බෝම්බ පුපුරලා අහිංසක මිනිස් ජීවිත 265 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණේ,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

“ස්වාමිනී එහෙනම් රටේ සිටිය යුත්තේ ජනාධිපති විතරයි. ආරක්ෂක ලේකම්, පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරු සිටිය යුතු නැහැ. ඔය අප්‍රේල් 16 යතුරුපැදි පිපිරීම ගැන මම දන්නෙත් 21 න් පස්සේ. 16 පිපිරුවා නම් ඒ ප්‍රදේශයභාර නියෝජ්‍ය පොලිස්පති ඒ ගැන සොයාබලන්න ඕනේ. නැතුව සියල්ලම කරන්න ඕනේ ජනාධිපති නෙමේ. අනික ඔබතුමිය ඔය කිව්ව සෑම සිදුවීමකදීම මම පොලිස්පතිට, ප්‍රදේශභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඒ ගැන සොයාබලන්න කියලා උපදෙස් දුන්නා. පාස්කු ප්‍රහාරය ගත්තාම මම කිසිම කෙනෙකුට පෞද්ගලිකව චෝදනා කරන්නේ නැහැ. 2015 ඉදලා 2019 වෙනකං කථා කරපුවා, දීපු උපදෙස් හරියට උඩ – පහළට ගලාගෙන ගියානම් මේ ඛේදවාචකය වෙන්නේ නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ, “කවුරුන් හෝ කියනවානම් තොරතුරු ලබා දුන්නට ආරක්ෂක කවුන්සිලය හරියට උපදෙස් දුන්නේ නැහැ කියලා ඔබ ඒ ගැන මොකද හිතන්නේ,” යනුවෙනි.

“ස්වාමිනී, තොරතුරු ලැබුණානම් සැකකරුවෙකු, වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගන්න ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙන්න ඕනේ නැහැනේ ස්වාමිනී. නිලධාරින් තම තමාගේ නිල බලයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම මේ ඇඟ බේරගන්න කතා කරනවා නෙමෙයි. නමුත් මේක මම ජනාධිපතිවරයා ලෙස පත්වුණ කාලයේ සිට ගොඩනැගුණු ගැටලුවක් නෙමේ. අවුරුදු 70 ක 80ක ඉදලා මේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලීම් කියන ජාතින් අතර ගැටුම් ඇතිවෙලා තියෙනවා. බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් කොච්චර අන්තවාදී සංවිධාන මේ රටේ තිබිලා තියෙනවද? මගේ කාලයේ වුණේ ඒකට අයි.එස් සංවිධානයත් රිංගුවා. නමුත් මම ඒවා මර්ධනය කරන්න පුළුවන් හැමදේම කළා,” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් විමසා සිටියේ, “ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහරායට පෙර වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් අවස්ථාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු නිදහස් කිරීමක් සිදුවුයේද?” යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා, “ස්වාමිනී එහෙම නිදහස් කරානම් ඒකට ඒ නිදහස් කරපු කෙනා වගකියන්න ඕනේ,” යැයි පැවසීය.

එම පිළිතුරත් සමග සුළු මොහොතක් නිහඬව සිටි සභාපති විනිසුරුවරයා හිටපු ජනාධිපතිවරයා වෙත ලේඛනයක් පෙන්වා දෙමින්, “හිටපු ජනාධිපතිතුමනි මේ වනවිට කොමිසම් සභාව ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන ලේඛන අනුව කොන්දේසි සහිතව ඔවුන් නිදහස් කිරීමට අත්සන් කර තිබෙන්නේ ඔබතුමා,” යැයි සඳහන් කළේය.

එම ප්‍රකාශයත් සමග සුළු මොහොතක් නිහඬව සිටි හිටපු ජනාධිපතිවරයා, “ස්වාමිනී ඒ ඉතිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි, ආරක්ෂක අමාත්‍යාංශයයි මට අත්සන් කරන්න ලියවිලි හදාගෙන ගේන හින්දනේ. ජනාධිපතිවරයෙකු ලෙස කොච්චරනම් ලියවිලිවලට මම අත්සන් කරනවාදැයි,” පැවසීය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබේ පාලන සමයේ තිබුණු දේශපාලන මතභේද අන්තවාදය උඩු දිවීමට සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට බලපෑවේද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “කොහෙත්ම නැහැ මොකද දේශපාලන මතභේදාත්මක වටපිටාවක් තුළ වුණත් මේ රටේ අනිත් වැඩ නියමිත විදිහට වුණා,” යනුවෙනි.

“හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කොමිසම ඉදිරියේ සාක්ෂිදෙමින් කිව්වා, පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාව වනවිට පැවති රජයේ අඩුපාඩු තිබ්බා. ඒ නිසා මේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම සාමුහීකව පැවති රජය භාරගන්න ඕනේ කියලා,” ඔබ ඒ ගැන මොකද සිතන්නේ යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළාය.

“මේක වළක්වා ගන්න තිබුණු ප්‍රහාරයක්. වළක්වා නොගත්තු එකයි වැරැද්ද. අන්න ඒ නිසා වගකියන්න ඕනේ ඒ වළක්වා නොගත් පිරිසයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ විශාල පිරිසක් අතරේ වගකීම බෙදියනවා,” යැයි හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුනි.

“ඔබ සිතනවද මේ අන්තවාදී ත්‍රස්තවාදි ප්‍රශ්නය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු නිමාවට පත්වුණා කියලා,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා ය.

හිටපු ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට දුන් පිළිතුර වුයේ, “අප්‍රේල් 21 නෙමේ. ඉන්පසු සති 04කින් විතර සහරාන්ලාගේ සංවිධානය සම්පුර්ණයෙන්ම විනාශ කරන්න අපිට පුළුවන් වුණා,” යන්නය.

“ඒ කියන්නේ සහරාන් විසින් ඇති කරගත් අන්තවාදී ත්‍රස්තවාදි කල්ලිය අවසානයි කියලද ඔබ කියන්නේ,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා විමසීමක් කළාය.

“සහරාන් මේක ඇති කළාද කියන එක සංකීර්ණව කතා කළ යුතු දෙයක්. ප්‍රහාරයෙන් දින කිහිපයකට පස්සේ බොහෝ කල් සැඟව සිටි අයි.එස් නායකයා එකවර එළියට ඇවිත් ලංකාවේ අප්‍රේල් 21 සිදුවුණ ප්‍රහාරයේ වගකීම භාර ගන්නවා. අදටත් ලෝකයේ අයි.එස් ක්‍රියාකාරකම් සක්‍රීයව සිදුවෙනවා. එහෙම බලපුවාම මේ සංවිධානය ඉවරයි කියලම කියන්න බැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කරුණු දැක්විය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පාස්කු ප්‍රහාරයට පසු බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වු විදෙස්ගත පුද්ගලයෙකු සහ මෙරට පුද්ගලයෙකු අතර සිදුව තිබූ පණිවුඩ හුවමාරුවක් විවෘත කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

එහි දැක්වුණේ, “අපට පෙර කවුරු හරි සටන් කරන්න පටන්ගත්තාද?,” යනුවෙනි.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ සහරාන්ට අමතරව ඒ අන්තවාදී මතය දරපු තවත් අය ලංකාවේ සිටියා කියන එක මේ පණිවුඩ හුවමාරුව තුළින් තහවුරු වනවා නේද යන්නය.

එම ප්‍රශ්නයට හිටපු ජනාධිපතිවරයා “ඔව්” යනුවෙන් පිළිතුරු දුනි.

ඉන් අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර පැවතියේ යැයි, මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පළමුව ප්‍රශ්න කර සිටියේ ඔබ සහ හිටපු පොලිස්පතිවරයා අතර පෞද්ගලික මට්ටමින් අමනාපයක් තිබුනේද යන්නය.

“නැහැ පෞද්ගලික මට්ටමින් කිසිම අමනාපයක් තිබුණේ නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දීමත් සමග රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය 2018 වසරේ පොළොන්නරුවේ පැවති ශරීර සුවතා උද්‍යානයක් විවෘත කිරීමේ අවස්ථාවකට හිටපු ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා සහභාගී වී සිටින විඩියෝ දර්ශනයක් විවෘත කොමිසම හමුවේ වාදනය කිරීමට පියවර ගැනුණි.

එම විඩියෝ දර්ශනය සාක්ෂි කූඩුවට වී සිනාසෙමින් නැරඹු හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “පේනවානේ මට එයත් එක්ක පෞද්ගලික අමනාපයක් තිබුණේ නැහැ,” යනුවෙනි.

පසුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔබ ජාතික ආරක්ෂක කවුන්සිලයට පැමිණීම තහනම් කළාද යනුවෙනි.

“ඔව් හේතු කිහිපයක් යටතේ ඇතැම් අවස්ථාවල දී ඔහුට ජාතික ආරක්ෂක කවුන්සිලයට පැමිණීම තහනම් කළා. එක හේතුවක් කලින් දවසේ කිව්වා වගේ විනය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. කොච්චර කිව්වත් ඇහුවේ නැහැ. 2017 රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා ඉද්දි විනය පරීක්ෂණයකුත් තිබ්බා. මම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි කථානායකවරයායි එක්ක කතා කරලා තිබුණේ. 2018 දෙසැම්බර් ආණ්ඩු පෙරළිය වෙනකොට මමයි, අග්‍රාමාත්‍යවරයායි, කථානායකවරයායි එකඟතාවයකට ඇවිත් තිබුණා පොලිස්පති සම්බන්ධයෙන් පියවරක් ගන්න,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

වෙනත් හේතු තිබුණා දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි විට හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා ස්ථාන මාරු කිරීම ගැන ආරක්ෂක කවුන්සිලයේ කතා කරලා තිබුණා. පූජිත්, නිශාන්ත සිල්වා ස්ථාන මාරු කරද්දි පොලිස් කොමිසමට දන්වා තිබුණා ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළ පරිදි කියලා. එක බරපතළ වරදක්. ඔය කියන නිශාන්ත සිල්වා තමයි යුධ ජයග්‍රාහණයට මුල්වුණ හමුදා නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගත්තේ. අද දවස වෙද්දි ඔහු රටෙන් පැනලා ගිහින්. ඒ සමයේ පාර්ශ්ව රැසකින් විරෝධයක් ආවා ඔහුව එතනින් අයින් කරන්න කියලා. එකයි මම අයින් කළේ,” යනුවෙනි.

හිටපු පොලිස්පතිවරයා සාක්ෂි දීලා තියෙනවා මේ කොමිසම ඉදිරියේ, “නිශාන්ත සිල්වාව ඔබේ කීම මත අයින් කළාට පස්සේ. නැවත ඔබ දුරකතනයෙන් කතාකරලා කාගේ කීම මතද අයින් කළේ, නැවත සි.අයි.ඩී එකට දාන්න කියලා කිව්වා කියලා,” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් යොමු කළේය.

“මට මතක නැහැ එහෙම Call කළා කියලා. නමුත් නිශාන්ත සිල්වා මාරු කළාට පස්සේ මට පාර්ශ්ව රැසකින් බලපෑම් ආවා. ත්‍රිවිධ හමුදාව විසින් පරාජය කරපු එල්.ටී.ටී.ඊ ජාලයට සම්බන්ධ එන්.ජී.ඕ තමයි ඒවා පිටිපස්සේ හිටියේ. කැබිනට් මණ්ඩලයේදිත් ආණ්ඩු පක්ෂයෙන්ම විරෝධය ආවා. මම කිව්වා එහෙනම් කැමති දෙයක් කරන්න කියලා,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

හිටපු ජනාධිපතිතුමනි, ඔබ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව ඔබේ නිවසට කැඳවා, “මේ ප්‍රහාරයේ වගකීම භාරගන්න කියලා, ඔහුට කිව්වද..?.” යැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීය.

“නැහැ මම එහෙම කිව්වේ නැහැ,” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන් විට රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙරළා ප්‍රශ්න කළේ, “බෝම්බ පිපිරීමේ වගකීම භාරගත්තොත් තනාපතිකමක් දෙනවා කිව්වද?,” යනුවෙනි.

“එයාට තනාපතිකමක් දෙනවා කිව්වේ ඊට කළින් 2018 අවුරුද්දේ නුවර පෙරහැරේ නටපු කාලේ. තනතුරට ගැළපෙන වැඩ නෙමේ කරන්නේ. මම තනාපතිකමක් දෙන්නම් ඔයා යන්න මම වෙන පොලිස්පති කෙනෙක් පත්කර ගන්නම් කියලා එදා කිව්වා. ඒ කාලේ කියපු දෙයක් තමයි මෙතනට ඇද ගන්න හදන්නේ. මෙච්චර බෝම්බ පුපුරලා තියෙද්දි නිලධාරින්ට තානාපතිකම් දෙන්න තරම් අඩු දැනුමක් තියෙන කෙනෙක් නෙමේ මම,” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කරුණු පැහැදිළි කළේය.

පසුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, “ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබුණොත් ඔබව පෞද්ගලිකව දැනුවත් කරන්න යැයි ඔබ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාව දැනුවත් කර තිබුණාද?,” යනුවෙනි.

“ඔව්, ජාතික ආරක්ෂාව, අපරාධ කල්ලි, අපරාධ වගේ දෙවල් ගැන දැනුවත් කරන්න කියලා මම උපදෙස් දීලා තිබුණා,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“හරි එහෙනම් පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රහාරයක් පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ලැබුණාට පස්සේ අප්‍රේල් 16 දක්වා ඔහු අවස්ථා කිහිපයකදී ඔබ සමග දුරකථනයෙන් සම්බන්ධ වුණා කියන්න අපි ගාව තොරතුරු තියෙනවා. එහිදී කිනම් හෝ අවස්ථාවකදී අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර ගැන නිලන්ත ජයවර්ධන මහත්තයා ඔබව දැනුවත් කළාද?,” යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ය.

“නැහැ පැහැදිළිවම නැහැ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් වැදගත් කරුණු දැනුවත් කරන්න කියා උපදෙස් දී තිබියදීත් නිලන්ත ජයවර්ධන මහතා 04 බුද්ධි තොරතුර ගැන ඔබව දැනුවත් නොකිරීම විශාල වරදක් සහ අතපසු කිරීමක් ලෙස ඔබ හඳුනාගන්නවාදැයි,” ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේය.

“ඔව් එය අතපසු කිරීමක් හා වරදක් ලෙස මම හඳුනාගන්නවා,” යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඔබ අප්‍රේල් 16 විදෙස්ගත වනවිට මේ ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කීරීමේ තොරතුර ගැන දැන සිටියා යැයි විශ්වාස කරන්න සාක්ෂි තියෙනවා කියලා කවරෙකු හෝ මේ කොමිසම හමුවේ සාක්ෂි දී ඇත්නම් ඔබ එය පිළිගන්නවාදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

“මම එය ප්‍රතිෂේප කරනවා. එවැනි තොරතුරක් ලැබිලත් රට හැර යන පහත් විදිහේ කෙනෙක් නෙමේ මම,” යැයි ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, ඉකුත් වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවු දින රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබ සමග දුරකතනයෙන් සම්බන්ධ වුණාද යන්නය.

“ඔව් මම සිංගප්පුරු රෝහලේ ඉදලා හෝටලයට ආවා විතරයි නිලන්ත ජයවර්ධන මහත්මයා මට කතා කළා. මේ පිපිරීම ගැන කිව්වා. විශාල වශයෙන් ජීවිත විනාශ වෙලා තියෙනවා කියලත් කිව්වා. මේ වගේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කළින් දැනුවත් කරලා තිබියදීත් අවශ්‍ය ආරක්ෂක පියවර අරගෙන නැහැ කියලත් කිව්වා,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් පැවසීය.

ඔබ විදෙස් ගතවුණේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්න දැයි මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්නයක් යොමු කළේය.

“ඔව්,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්විට විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ රෝගී තත්ත්වයකට විදෙස්ගත වීමකදී වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙක් පත්කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය තියෙනවා නේද?,” යන්නය.

“සමහර ජනාධිපතිවරු එහෙම කරලා තියෙනවා. සමහර අය එහෙම කරලා නැහැ. අනික මට තිබුණේ එච්චර බරපතළ රෝගී තත්ත්වයක් නෙමේ,” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

“ඇයි බරපතල රෝගී තත්ත්වයක් නෙමේ නම් සිංගප්පුරු රෝහලටම ගියේ. මම එහෙම ඇහැව්වේ ඔබ මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් හිටිය නිසා රටේ සෞඛ්‍ය සේවය දියුණු කරන්න ඇතිනේ,” යැයි විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා යළි විමසා සිටියේ ය.

“නැහැ මම දිර්ඝ කාලිනව සිංගප්පුරු රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියා,” යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කෙසේවෙතත්, එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසම් සභාවේ විශේෂ අවධානය දුරකතන වාර්තා දෙස යොමු කරමින් පෙන්වා දුන්නේ, “හිටපු ජනාධිපතිතුමනි, ඔබ කියන්නේ ප්‍රහාරය සිදුවුණාට පස්සෙයි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබව දැනුවත් කළේ කියලා. නමුත් පැජට් පාරේ පිහිටි ඔබේ නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා සිංගප්පුරුවේ සිටි ඔබේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමග සම්බන්ධ වෙලා තියෙන්නේ මෙරට වේලාවෙන් පෙ.ව 8.02 ට පමණ. විනාඩියයි තත්ත්පර 03ක ඇමතුමක් ලෙසයි මෙය සටහන් වෙන්නේ. පළමු බෝම්බය පිපිරුවේ පෙ.ව 8.45ට. ඒ කියන්නේ මේ ඇමතුම සඳහන් වෙන වෙලාව වෙනකොට බෝම්බ පිපිරිලා නැහැ නේ,” දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්නය හමුවේ සුළු මොහොතක් නිහඩව සිටි හිටපු ජනාධිපතිවරයා, “නැහැ මට තොරතුරු හම්බුනේ පිපිරුණාට පස්සේ යැයි පිළිතුරු දෙමින් පැවසීය.”

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *