සහරාන් හෂීම් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේට තර්ජනයකර බවට ජනාධිපති කොමිසමේදි හෙළිවෙයි

මහනුවර, මුරුතලාව නගරයට ආසන්න නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයට යාබද ඉඩමක් මිලදී ගැනීම සදහා අවස්ථා තුනකදී සහරාන් හෂීම් පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම අනාවරණය සිදු කළේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින්. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදි ඒ පිළිබද සාක්‍ෂි ලබාදෙමින්. එහිදී උන්වහන්සේ පැවසුවේ මහනුවර, මුරුතලාව නගරයට ආසන්න මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් මුදල් ගෙවා ලබාගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කළ බවයි.

2016 ජුනි මස දිනකදී මුස්ලිම් ජාතිකයින් 5 දෙනෙකු විහාරස්ථානය අසළ තිබූ ඉඩමක් නිරීක්ෂණය කරන ආකාරය තමන් දුටු බවත් විහාරස්ථානයේ හිමි නමක් ජංගම දුරකථනයකින් එම පිරිස ඡායාරූපයට නගා තිබූ බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහි සිටි එක් අයෙකු සහරාන් හෂීම් බව හදුනා ගත් බවයි පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ.

සහරාන් හෂීම්, තමන් වහන්සේ සමග එහිදී සාකච්ඡා කළ බව කොමිසම හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ මුස්ලිම් පිරිස නිරීක්ෂණය කළ ඉඩම ඔවුන් මිලදී ගැනීමට තමන් වහන්සේ විරුද්ධ බවට ප්‍රකාශ කළ බවත් කිසිවිටෙක එහි පල්ලියක් ඉදි නොකරන බවට සහරාන් හෂීම් එහිදී ප්‍රකාශ කළ බවත් ධම්මරතන හිමියන් කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

සර්ව ආගමික සුහදත්වයෙන් මෙම ස්ථානයේදීත් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් සහරාන් මෙම යෝජනාවට විරුද්ධ නොවන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බවයි පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් මෙහිදී පවසා ඇත්තේ.

යළිත් 2017 මාර්තු මස දිනකදී සහ අගෝස්තු මාසයේ දෙවරක් නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයට සහරාන් හෂීම් පැමිණ තිබූ බව ද උන් වහන්සේ සදහන් කර තිබෙනවා. පසුව සහරාන් හෂීම් තමන් වහන්සේට තර්ජනය කළ බවයි පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් කොමිසම හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *