පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් නීතිඥවරයා සභාපතීත්වය දරන NGO සංවිධානය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥවරයා සභාපතීත්වය දරන රාජ්‍ය නොවන සංවිධානය ගැන පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබේ.

ඊට හේතුවී ඇත්තේ මෙම රාජ්‍ය නොවන සංවිධානයට අරමුදල් වැඩි වශයෙන් සම්පාදනය කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ දී මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් වන බැවිනි. රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ ද බෝම්බකරුවන් විසින් මිල දී ගත් ඉඩමක පිහිටි ගොඩනැඟිල්ලකය. එම ගොඩනැඟිල්ලට සහරාන් පැමිණ ඇති බවට ද තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. ඒ ගැන ද මේ වන විට විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවරා ඇත්තේ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරීත්වය ගැන සොයා බැලීමටය. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ වසරකට ලක්ෂ 60 ක් පමණ මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ගිණුමට බැරවී ඇති බවය. එසේම වසරකට ඒ හා සමාන මුදලක් ද මෙම සංවිධානයේ ගිණුමෙන් වැය වන බව ද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මෙම ගිණුමේ මේ වන විට ඇත්තේ රුපියල් 20000 කට අඩු මුදලක් බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු ගිණුමට මුදල් බැරවීම් ද නැවතී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව එකවරම ගිණුම්වලට බැර කළ මුදල් නතර වන්නේ මෙම ගිණුමට මුදල් බැර කිරීම්වලට සම්බන්ධවූවන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූවන් නිසාදැයි සැකයක් ද විමර්ශන කණ්ඩායම්වලට පැන නැඟී තිබේ.

මදුරන්කුළියේ පිහිටි මද්‍රසා පාසල ද ආරම්භ කර ඇත්තේ මෙම රාජ්‍ය නොවන සංවිධානය මඟිනි. එම මද්‍රසා පාසලට බඳවාගෙන ඇත්තේ ද මව්පියන් අහිමි අනාථ දරුවන්ව බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. උතුරු කොළඹින් දරුවන් බදවා ගන්නා බව පෙන්වමින් රට වටෙන්ම අනාථ දරුවන් මෙම පාසලට බඳවාගෙන ඒ අයට අන්තවාදය උගන්වා ඇතැයි ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම දරුවන්ට කැළෑ සටන් පුහුණුව දී ඇති බවත් වනාතවිල්ලුවේ පිහිටි එම සටන් පුහුණුව ලබාදුන් ස්ථානයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

මෙම රාජ්‍ය නොවන සංවිධානය සමග ඉතා සමීප ව දේශපාලනඥයන් කිහිප දෙනෙක් ද කටයුතු කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇත. එම දේශපාලනඥයන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් මේ වන විට සිදුවෙමින් ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *