ජර්මන් රජය සිය ජනතාවට “ෆේස් මාස්ක්” අනිවාර්ය කරයි

ජර්මනියේ කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් එරට ප්‍රාන්ත රජයන් 16ම සිය ජනතාවට එළිමහනට යන විට මුහුණු ආවරණ (ෆේස් මාස්ක් ) පැළඳීම අනිවාර්යය කිරීමට තීරණය කර ඇත.”බ්‍රේමන් ” ප්‍රාන්තය මෙසේ ජනතාවට එළිමහනට යන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට සැරසෙන ප්‍රථම ජර්මන් ප්‍රාන්තය වන අතර එම ප්‍රාන්ත රජය සිය සෙනෙට් මණ්ඩලය වෙත ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට අනිද්දා (24දා ) අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය අද (22දා) වාර්තා කළේය.

මේ අනුව කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ඉකුත් මාර්තු 22 වැනිදා රටම අගුලු දමා ඇති ජර්මනියේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේදී මෙන්ම සාප්පු යාමේදී ජනතාවට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට සියලු ප්‍රාන්ත තීරණය කර තිබේ.

අගුලු ලා ඇති ජර්මනියේ එම සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කිරීමට සැරසෙන බව ප්‍රකාශයට පත් කරමින් පසුගිය සතියේ ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් කියා සිටියේ අගුලු දැමීමේ සීමාවන් මෙම සතියේ සිට ලිහිල් කිරීමේදී එයින් අවාසියක් නොවීමට සැම පුරවැසියෙකුටම එළිමහනට යාමේදී මුහුණු ආවරණයක් පැළඳීම දැඩි සේ නියම කළ යුතු බවයි.
ජර්මනියේ බොහෝ ප්‍රාන්තයන් චාන්සලර්වරිය පසු ගිය සතියේදී දැනුම් දුන් ආකාරයටම මෙම සතියේදී කොරෝනා වෛරසයේ පැතිරීමත් සමගම වසා දැමුණු කුඩා සාප්පු විවෘත කිරීමට පියවර ගත්හ.

මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යය කෙරුනද මෙතෙක් ජර්මනියේ සැම ප්‍රාන්තයක්ම එම නීතිය කඩ කරන අයට දඬුවම් ලබා දීමට තීරණය කර නොමැති අතර උතුරු ජර්මනියේ මැක්ලේන්බර්හ් වෙස්ටන් පොමරේනියා නමැති ප්‍රාන්තය පමණක් පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේදී මුහුණු ආවරණ නොපළඳින අයගෙන් යුරෝ 25 ක දඩයක් අය කරන බවට නිවේදනය කර තිබේ .

ජර්මනිය ලොව කොරෝනා වෛරසය පැතිර යන රටවලින් පස් වැනි විශාලතම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට වන අතර අද රාත්‍රී 10.30 වන විට එරටින් එම ආසාදිතයින් 149,044 දෙනෙකු හා කොරෝනා මරණ 5127 දෙනෙකු වාර්තා වී තිබිණි .

ඒමන්ති මාරඹේ

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *