තුර්කියේ ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ 50ක් ශ්‍රී ලකාවට පැමිණ ඇතැයි මෙරට තුර්කි තානාපතිවරයා ලංකා රජයට 2016 දී එවූ ලිපිය නොසලකා හැරී බවට තහවුරුවෙයි

තුර්කියේ ක්‍රියාත්මක ෆේටෝ නමැති ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පනස් දෙනෙකු ශ්‍රී ලකාවට පැමිණ ඇතැයි මෙරට තුර්කි තානාපතිවරයා 2016 දී ලංකා රජයට එවූ ලිපිය සම්බන්ධව මෙරට බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගත් බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ වුණි.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මියගෙන් කොමිසම අද ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදීයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මියයි.

ජනාධිපති කොමිසම අද අවධානය යොමු කළේ තුර්කියේ සෙටෝ නමැති ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පිරිසක් ලංකාවට පැමිණ ඇතැයි මෙරට තුර්කි තානාපති තුන්ජා මහතා 2016 වසරේ අගෝස්තු 24 දින පිටු 12කින් සමන්විතව එවූ ලිපිය පිළිබඳවයි.

එවන් ලිපියක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණේදැයි කොමිසම විමසූ අවස්ථාවේ ජයවර්ධන මහත්මිය සඳහන් කළේ එලෙස ලිපියක් ලැබී තිබුණු බවයි.

එහි ප්‍රතිත්‍රස්ත ඒකකයේ ලේකම්වරයා ලෙස වත්මන් විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා කටයුතු කළ බව ද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් ලද එම ලිපිය ප්‍රතිත්‍රස්ත ඒකකය වෙත යොමු නොකර විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාසය යොමු කළේ ඇයි දැයි කොමිසම ඇගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් ජයවර්ධන මහත්මිය පැවසුවේ බටහිර කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමු කර තිබු ලිපිගොනුව පාස්කු ප්‍රහාරයෙන් පසුව එනම් 2019 අප්‍රේල් 30 වැනිදා ප්‍රතිත්‍රස්ත ඒකකයට ලබා දුන් බවයි.

කොමිසම එහිදී විමසුවේ එම දිනය වන තෙක් අදාළ ලිපිගොනුව පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගැනීමත්,එම තොරතුර සම්බන්ධයෙන් එවකට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අප්‍රේල් 30 ද වැනිදා මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ දිනයේදීම අදාළ ලිපි ගොනුව ප්‍රති ත්‍රස්ත ඒකකයට ලැබීමත් විමතියට කරුණක් බවයි.

එමෙන්ම රජයේ අධිනීතීඥවරිය දිගින් දිගටම ප්‍රශ්න විමසන අවස්ථාවේදී ඇය “හ්ම්” ලෙස පිළිතුරු ලබාදීමත් සමඟ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඇයට උපදෙස් දුන්නේ “ඔව්” හෝ “නැත” යන්නෙන් පිළිතුරු ලබාදෙන ලෙසයි.

කෙසේවෙතත් තුර්කි රජයෙන් ලද ලිපිය ගැන එවකට අදාළ පාර්ශ්ව දැනුවත් කළේ දැයි නැගු පැනයට මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය සඳහන් කළේ ඒ පිළිබද ආරක්ෂක අමාත්‍යංශයේ නීතිය හා සාමය භාර ලේකම්වරයාව දැනුවත් කළ බවයි.

පසුව මෙම ලිපිය පදනම් කරගනිමින් කොමිසම ප්‍රශ්න කළේ ආරක්ෂක අමාත්‍යංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මියගෙන්.

ඇයගෙන් කොමිසම විමසුවේ 2016 අගෝස්තු 24 වැනිදා විදේශ කටයුතු අමාත්‍යංශයෙන් එවන් ලිපියක් ලැබුණේද යන්නයි.

එය අමාත්‍යංශයේ සම්බන්ධිකරණ ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබී තිබුණු බව මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මිය කියා සිටියේය.

ඔහු අමාත්‍යංශ ලේකම්වරයාගේ සම්බන්ධීකරණ නිලධාරීයා වන වර්ණ ජයසුන්දර නමැත්තෙකු බවද ඇය කියා සිටියාය.

පිටු 12කින් සමන්විත එම ලිපිය නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කෙරුණු බවද ඇය පැවසුවාය.

තුර්කි රජයෙන් ලබාදුන් තොරතුරුවලට අදාල නිරික්ෂණ ඉල්ලා තිබෙනවාදැයි ඇසූ ප්‍රශ්නයටද මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මිය පිළිතුරු දුන්නේ පූජිත් ජයසුන්දර මහතා නිරික්ෂණ ඉල්ලා ඇති බවයි.

එම ක්‍රියාදාමය නියමිත ක්‍රියාපටිපාටියට අනුව සිදුව තිබුණේ දැයි කොමිසම විමසා සිටියේය.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හරහා දැනුවත් කළ යුතුව තිබුණු දෑ සම්බන්ධීකරණ නිලධාරියා හරහා සිදුව තිබෙන නිසා නියමිත ලෙස කටයුතු සිදුවූ බව පැවසිය නොහැකි යැයි මාලිකා ශ්‍රීමති මහත්මිය එහිදී පැවසුවාය.

නැවත ආරක්ෂක අමාත්‍යාංශය මේ ගැන පොලිස්පතිවරයාගෙන් කරුණු විමසුවේදැයි නැගු පැනයට ඇය කියා සිටියේ යළි කරුණු විමසුවේ 2020 පෙබරවාරි 2 වැනිදා බවත් ඊට පිළිතුරු පෙබරවාරි 12 වැනිදා ලැබී තිබුණේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව බවයි.

පසුව ඒ පිළිබද තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයට යොමු කළ බවයි ආරක්ෂක අමාත්‍යංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මිය කියා සිටියේ.

පසුව කොමිසම යළි විමසා සිටියේ ඊට පිළිතුරු ලිපියක් ලැබුණේද යන්නයි.

එය තමන්ට සොයා ගැනීමට නොහැකි බව සදහන් කළ වැඩබලන අතිරේක ලේකම්වරිය පැවසුවේ මේ සම්බන්ධ නිසි ලිපිගොනුවක් නොමැති බැවින් එය සොයාගැනී අපහසු බවයි.

1Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *