“සජිත්ට විපක්ෂ නායකකම හරියට කරලා අත්දැකීම් ලබන්න ඕනෑ සියලූ බර එක පාරට කරට ගන්න ගියොත් ඔහුටමයි ගැටලූ එන්නේ” සජිත් පාර්ශවය ඇම ගිලී පක්ෂ නායක තවදුරටත් රනිල්

බ්‍රහස්පතින්දා හවස එම කණ්ඩායම් රැස්වීම් සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන විටත් සජිත් පාර්ශ්වයේ බොහෝ දෙනෙකු පැමිණ ශාලාවේ අසුන්ගෙන සිටියහ. සජිත් හිටියෙ කලූ ඇඳුමක් ඇඳගෙනය. ඔහු බුද්ධික පතිරණ, අජිත් පෙරේරා, නලින් බණ්ඩාර ඇතුළු කිහිපදෙනෙක් සමඟ ඉතා තදබල සාකච්ඡාවක නිරත ව සිටින බවක් රනිල්ට දැකගන්නට ලැබිණි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම නිසි වේලාවට ආරම්භ කෙරිණි. ආරම්භ වන විටත් සජිත් සිටියේ එහි පසුපෙළ අසුනක තමන්ට හිතවත් මන්ත්‍රීවරු සමඟ එකට අසුන්ගෙනය. රැස්වීම් ආරම්භ වී ටික වේලාවකට පසුව මෙම හමුවේ අරමුණු පැහැදිලි කරමින් කතා කළ පක්ෂ නායක රනිල් තමා බොහෝ ලෙස කල්පනා කර විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා තීරණයක් ගත් බව කියමින් ඒ සඳහා ඔහුගේ නම් යෝජනා කර සිටියේය. සභාවම ඔල්වරසන් දෙමින් එම යෝජනාව එකහෙළාම පිළිගෙන සිටියහ. කිසිවෙක් විපක්ෂනායක තනතුරට හැර පක්ෂ නායක තනතුරක් ගැන කතා කරන්නට ගියේ නැත. සජිත් පිලේ ඒ පිළිබඳව මීට පෙර කතා කළ බොහෝ දෙනෙක් නිහඬව සිටීම විශේෂත්වයක් විය.

සජිත් පිලේ බොහෝ දෙනෙක් ඒ වන විටත් තම තමන්ගේ අදහස් ජනමාධ්‍ය ඔස්සේ රටට හෙළිකර තිබිණි. තම කණ්ඩායම විපක්ෂ නායකකමෙන් පමණක් සෑහීමට පත් නොවන බව ඔවුහු කියා තිබිණි. විපක්ෂ නායකකම සමග පක්ෂ නායකත්වයත් තමන්ට ලබාදී රනිල් වික්‍රමසිංහ වහාම ඉවත් වී දැන්වත් ගෙදර යා යුතුය යැයි කී අය අතර නලීන් බණ්ඩාර, හේෂා විතානගේ, චමින්ද විජේසිරි, අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, අජිත් මාන්නප්පෙරුම ආදීහු සිටියත් එම අවස්ථාවේ ඒ කිසිවෙක් ගැන සටන් නොකිරීම විශේෂත්වයක් විය. එබැවින් එම කණ්ඩායම් රැස්වීම් වැඩි ගාලගෝට්ටියක් නැතිව සාමකාමීව අවසන් විය.

එදා උදේ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට රනිල්ට හිතවත් පිරිසක් එජාප නායක රනිල් වික්‍රමසිංහගේ පස්වැනි පටුමගේ නිවස වෙත ද පැමිණ සිටියහ. තවත් සමහරු ඒ ගැන සාකච්ඡා කළේ දුරකථන ඔස්සේය.

”අද හවස ඔබතුමා ගන්නා තීන්දුව මොකක්ද? එ.ජා.ප නායකත්වය හා විපක්ෂ නායක ධුරයත් සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතුයි කියලා පක්ෂය ඇතුළේ මෙන්ම පිටත් පවතින ස්ථාවරයයි.’ චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ එ.ජා.පයේ නායකයාට කතා කොට කීවේ ය.

”වෙනස්කම් කරන්න මම සූදානම්. ඒත් බලහත්කාරකම සුදුසු නෑ. සාකච්ඡාව හා සම්මුතිය එ.ජා.ප යේ ක්‍රමයයි.’ එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.

”ඔබතුමාත් මේ පක්ෂයේ දිගටම රැඳී ඉන්න ඕනේ. ඒත් ප්‍රධාන තනතුරුවල යම් වෙනසක් අවශ්‍යයි. ඒක අපේ විතරක් නොවෙයි ජනතාවගේත් ස්ථාවරයයි’ චමින්ද සහ හේෂා වැඩිදුරටත් කීය.

”විපක්ෂ නායකකම සජිත්ට පවරනවා. මුලින් ඒ වැඬේ හරියට කරලා ඔහු අත්දැකීම් ලබන්න ඕනෑ. සියලූ බර එක පාරට කරට ගන්න ගියොත් ඔහුටමයි ගැටලූ එන්නේ’ එ.ජා.ප නායකයා තවදුරටත් පිළිතුරු දුන්නේය.

”විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාදීමට ගත්ත තීන්දුව ඉතා වටිනවා. මොකද ඔබතුමා 1994 ඉඳලා වැඩිපුර හිටියේ විපක්ෂනායක වෙලානේ. විපක්ෂ නායකකම සජිත්ට බාර දුන්නාම ඔබ විපක්ෂ නායක නොවෙයි, හිටපු අගමැති හා එ.ජා.ප නායක ලෙසයි රට ඉදිරියේ ඉන්නේ’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

”හොඳයි එතකොට ඉදිරි මහා මැතිවරණය මෙහෙය වන්නේ කවුද? මම හිතන්නේ ඒකට සිංහල බෞද්ධ පදනමක් තියෙන අලූත් මූණක් ඉදිරියට ගේන්න ඕනේ. කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට පදනම දාන එක ගැන අවසන් තීන්දුව මොකක්ද?’ මහාචාර්ය ආංශු මාරසිංහ විමසීය.

”ඔව් කරූගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් හදලා ඒකට එ.ජා.ප ප්‍රධානීන් හා එ.ජා.පෙ පක්ෂ නායකයින් ඇතුළු සියලූ දෙනා දාලා අපි මැතිවරණයට ඉදිරිපත් වෙමු. එකමුතුකම සියල්ලට වඩා වැදගත්’ එ.ජා.ප නායකයා ඊට පිළිතුරු දුන්නේය.

”පාර්ලිමේන්තුව කල් දැමීම ගැන කථානායක හෝ ඔබතුමා දැනුවත් ද ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ එ.ජා.ප නායකයාගෙනි.

”නෑ මම හෝ කථානායක ඒ ගැන දැනුවත් නැහැ. මේ ආරංචිය ලැබුණාම කථානායකතුමා ජනාධිපති ලේකම් ගෙන් මේ ගැන අහලා තියෙනවා. හරි උත්තරයක් ලැබිලා නැහැ. පස්සේ මම අගමැති මහින්දට කතා කළා. කල් දැමීමේ අදහසක් තියෙනවා. කවදද කියලා හරි, කොච්චර කාලෙකට ද කියලා හරි කියන්න අමරුයි, ඒ ගැන මම දන්නේ නැහැ කියලායි ඔහු මට කීවේ. අලූත් නායකයෙක් පත් වුණාම පාර්ලිමේන්තුව සතියකට හෝ උපරිම සති දෙකකට කල් දැමීම කරනවා. ඒත් මාසෙකට කල් දැමීම ටිකක් ගැටලූකාරීයි. අඩු ගාණේ කථානායකවත් දැනුවත් කළ යුතුව තිබුණා’ එ.ජා.ප නායකයා දීර්ඝ විග්‍රහයක් කළේය.

”ජනවාරි 03 දා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විවෘත කළාම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට විරුද්ධව ඡන්දයක් ඉල්ලලා, බහුතරයකින් පරාජය කරලා එ.ජා.පෙ ට අගමැතිකම ගන්න පුළුවන් කියලා එ.ජා.පෙ සමහරු තුළ මතයක් තියෙනවා නේද?’ එ.ජා.ප යේ ඉහළ නිලධාරියෙක් විමසීය.

”ජනමතයක් එක්කයි ජනාධිපති තමන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පාර්ලිමේන්තුවට කියලා පාර්ලිමේන්තුව විවෘත කරන්නේ. එවැනි තැනකදී ඊට අභියෝග කරන සම්ප්‍රදායක් නෑ. 2015 මෛත්‍රී ජනාධිපති වෙලා මේ අවස්ථාවට මුහුණ දුන්නාම එ.ජා.ප යට මන්ත්‍රීවරු හතලිස් ගණනක් පමණක් ඉඳලත් එවකට එ.ජ.නි.ස අය අභියෝග නොකළේ විශාල ජනවරමක් ඒ වෙනකොට මෛත්‍රී හා අප වටා තිබුණු නිසයි.’ එ.ජා.ප නායකයා පැහැදිලි කළේය.

”ජනාධිපතිගේ කතාවට අපට එදාට ස්තූති කරලා ඕන නම් සංශෝධන ඉදිරිපත් කරලා සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්” ලක්ෂ්මන් කිරිඇල්ල සම්ප්‍රදාය තවදුරටත් පැහැදිලි කළේය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *