“මේ පාර ඡන්ද බේස් එක වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මේ ඡන්දෙදි ඒ බේස් එක අපට වැඩ කරන්නේ නෑ මේ පාර අපට ශක්තියක් වෙන්නේ සුළු ජාතික ඡන්ද ” රනිල් – සජිත් සාකච්ඡාවේ තොරතුරු හෙළිවේ

එක්සත් ජාතික පක්ෂයේ ඇතුළාන්තයෙන් පැන නැගී ආ අර්බුද තව තවත් උග්‍ර හා උණුසුම් වන බව සතිය ආරම්භයේ දීම දක්නට ලැබීම විශේෂත්වයකි. එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන අනෙකුත් සහෝදර පක්ෂ සමග ”ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය” නමින් පුළුල් සන්ධානයක් බිහිකර එමගින් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කරන ලද සැලසුම්වලට එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම එකහෙළාම විරෝධය පළ කළේ එම පෙරමුණ සඳහා ඒ වන විට නිමවා තිබූ ව්‍යවස්ථාව මුල්කොටගෙනය. අග්‍රාමාත්‍ය රනිල් උත්සාහ කළේ එම ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන්ට නොපෙන්වා ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඊළඟ සඳුදා (5) සුගතදාස ක්‍රීඩාංගනයේදී එ ජා පය හා අනෙකුත් පක්ෂ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නම් වූ පුළුල් සංවිධානය ගොඩනගා නගා ගැනීම සඳහා යෝජිත ව්‍යවස්ථාව අත්සන් කර ගැනීමටය.

එනමුත් සජිත් පිලේ සාමාජිකයින් බරපතළ ලෙස ඊට විරෝධය පාමින් රනිල්ගේ එම සැලසුම් සියල්ල කඩාකප්පල් කළේ එම ව්‍යවස්ථාවේ අඩංගු කරුණු කාරණාවල දෝෂ සහිත තැන් උපුටාගෙන ඒවා ඔස්සේ මෙම ක්‍රියාදාමයට විරෝධය පළ කරමිනි. පළමුව ජනාධිපති අපේක්ෂකයා නම් කර දෙවනුව සන්ධානය ගොඩනඟමු යන ස්ථාවරයෙහි සජිත්ලා සිටි අතර පළමුව සන්ධානය ගොඩනඟා දෙවනුව එමගින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරමු යන මතයේ රනිල් ඇතුළු ආධාරකරුවන් සිටියහ. මෙම අර්බුදයට විසඳුමක් නැතිව එම සාකච්ඡුාව හමාර විය.

පසුගිය සති අන්තයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කිසිවෙකුට මේ අර්බුදය නිසා කිසිදු විවේකයක් තිබුණේ නැත. සජිත් පිල විසින් සන්ධානය අත්සන් කිරීම් සඳහා ඒ වන විටත් නිමවා තිබූ ව්‍යවස්ථාවට විවිධ සංශෝධන ගෙන ආහ. මෙම ව්‍යවස්ථාව විසින් සන්ධානයේ මූලස්ථානය ලෙස නම් කොට තිබුණේ චතුර සේනාරත්නට අයත් කාර්යාලයකි. සන්ධානයේ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට පිටස්තර අයකුට ලබාදෙන්නට ද යෝජනා කර තිබිණි. එම යෝජනාවලට එකහෙළාම විරෝධය පළ කළ සජිත් පාක්ෂිකයෝ ‘‘සිරිකොත’’ සන්ධාන මූලස්ථානය විය යුතු බවත්. මහලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතු බවත් කියමින් මූලික විරෝධතා ගොනු කළහ. අවසානයේ අගමැති රනිල් එම ප්‍රශ්නය සමථයකට පත්කළේ එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනා සහිතව සංශෝධනය කරන ලද ව්‍යවස්ථාවට අනුව 5 වැනිදා සන්ධානය පිහිටුවීමට තීරණයක් ගනිමිනි.

ඒ අනුවම පසුගිය සති අන්තයේ අගමැති රනිල් වික්‍රමසිංහත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් කීප වරක්ම හමුවී මේ ගැන කතාබහ කළහ. ඊට අමතරව නායක රනිලූත් නියෝජ්‍ය නායක සජිතුත් පමණක් සහභාගි වූ විශේෂ රැස්වීමක් ද පැවැත්විණි.

නියෝජ්‍ය නායක සජිත් තම නායකයා සමඟ සාකච්ඡා කරන්නට උත්සාහ කළේ සන්ධානය තැනීම පිළිබඳ ප්‍රශ්නය නොව. මේ වෙලාවේ එජාපයට මුහුණදීමට ඇති ලොකුම ගැටලූව වන එජාපයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ගැටලූව ගැනය…

“අපි කෙලින්ම මාතෘකාවට බැහැලා කතා කරමු නායකතුමා… මගේ අදහසක් තියෙනවා මේ පාර ජනාධිපතිවරණයට පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න

ඔව්… ඒ අදහස් තියෙන අය කීපදෙනෙක්ම පක්ෂයේ ඉන්නවා… මගේත් අදහසක් තියෙනවා ඉදිරිපත් වෙන්න…. රනිල් දුන්නෙ සජිත් නොසිතූ විරූ උත්තරයකි.

”මට මේ වෙලාවේ පක්ෂය ඇතුළේ අපේ ක්‍රියාකාරී නායකයින්ගෙන්. පාක්ෂිකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ඉදිරිපත් වෙන්න කියලා.
ඒ ඉල්ලීම මටත් ඒ විදියටම තියෙනවා… රනිල් කීවේය…

අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පක්ෂවල ඉල්ලූමකුත් තියෙනවා…

සහෝදර පක්ෂ තමයි මටත් යෝජනා කරන්නේ මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා… රනිල් කීවේය…

සර්… මේ වෙලාවෙ මට පස්ස ගහන්න බෑ.

මටත් මේ වෙලාවේ පස්සට යන්න බෑ…

මේ විදියට මේ සාකච්ඡාව අපි දෙන්නට ඉදිරියට

ගෙනයන්න බැහැ වගේ… එහෙනම් මම යන්නම්… සජිත් එසේ කියද්දී මදක් කල්පනාකාරී වූ අගමැති රනිල් ඔහුට නැවත කතා කළේය.

”සජිත් මේක හොඳට හිතට ගන්න…. ඔයා අනාගතයක් තියෙන තරුණ නායකයෙක්. ඔයාට තවමත් ඉදිරියට කාලය තියෙනවා… ඔයා නිකං බොරුවට කලබල වෙලා ඔයාගේ අනාගතය අඳුරු කරගන්න එපා. ඔයා හිතන විදියටම මේ ගැන හිතෙන තවත් අය අපේ පක්ෂයේ ඉන්නවා. කරු ජයසූරිය හිතනවා ඔක්කොටම වඩා එයාට දිනන්න පුළුවන් කියලා. ලක්ෂ්මන් කිරිඇල්ලත් එහෙම හිතනවා. ෆොන්සේකාත් එහෙම හිතනවා. එහෙම හිතන එකේ වරදක් නෑ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ ඡන්ද බේස් එක වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව. කරු ජයසූරියගේ බේස් එකත් ඒකමයි. හැබැයි මේ ඡන්දෙදි ඒ බේස් එක අපට වැඩ කරන්නේ නෑ. අර මොකද අපට වඩාත් ශක්තිමත් නායකයෙක් මේ පාර ඒ බේස් එක වෙනුවෙන් වැඩ කරනවා. ඒගොල්ලන්ට සිංහල බෞද්ධ කඳවුරේ ඡන්දවලින් විශාල ප්‍රමාණයක් ඇදිලා යනවා. මේ පාර අපට ශක්තියක් වෙන්නේ සුළු ජාතික ඡන්ද. කවුරුත් දන්නවා මේ රටේ දෙමළ මුස්ලිම් සුළු ජාතිකයන්ගේ ජනකොටස් ඉන්නේ මාත් එක්ක බව. සිංහල ඡන්ද ගන්න අතරේ දෙමළ-මුස්ලිම් ඡන්දවලින් විශාල ප්‍රතිශතයක් ගන්න කෙනා තමයි මේ පාර දිනන්නෙ. ඒකට ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් මට බලවතුන්ගේ ආධාර උපකාර තියනවා. පක්ෂය ගැන හිතනවා නම්. රට ගැන හිතනවා නම්. අපේ දේශපාලන අනාගතය ගැන හිතනවා නම් ඔයා මේ වෙලාවේ ඒකට විරුද්ධ නොවී මට උදව් කරන්න. එතකොට තමයි ඔයාගේ දේශපාලන අනාගතයත් සුරක්ෂිත වෙන්නේ…

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව නිම වී සජිත් ආපසු ගොස් ඇත්තේ එතරම් හිත සතුටකින් නොවේ… සජිත් පිලේ නායකයෝ දිගින් දිගටම නව සන්ධානයේ ව්‍යවස්ථාව වෙනුවෙන් සංශෝධනය ඉදිරිපත් කරන්නට වූහ. එම සංශෝධන ඇතුළත් කර සන්ධානය සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීම සන්ධානයේ පක්ෂ නායකයන්ට ගැටලූවක් විය. මේ නිසා ඉතා ඉක්මණින් ව්‍යවස්ථාව සාදා පක්ෂ එකතු වී සන්ධානය ගොඩනැගීම පස් වැනි සඳුදා සිදු කිරීම බලවත් ගැටලූවක් බවට පරිවර්තනය විය. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් යෝජනා පැමිණියේ සන්ධානයෙන් නිර්මාණය කිරීමේ එම උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමිය යුතු බවටය. උද්ගතව ඇති තත්ත්වය ගැන දිගින් දිගටම සාකච්ඡුා කළ අගමැති රනිල් ඒ පිළිබඳ තීන්දුවක් ගෙන මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට තීන්දුව දැනුම් දුන්නේ සන්ධානය ගොඩනැගීමේ කටයුත්ත දින නියමයක් නොමැතිව කල් දැමූ බවට නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කරවීම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ බලාපොරොත්තුව විය. අජිත් පී. පෙරේරා. හරීන් ප්‍රනාන්දු. සුජීව සේනසිංහ. රංජිත් මද්දුම බණ්ඩාර. මංගල සමරවීර. මලික් සමරවික්‍රම. ඉරාන් වික්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් මේ වෙනුවෙන් කතා කරන්නට පටන් ගෙන සිටියහ. ඒත් ඔවුන්ට ප්‍රශ්නයක් ව තිබුණේ සුළු පක්ෂවල නායකයෝ මේ ගැන කිසිදු අදහසක් නොදක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන් ගෙන තිබීමය. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් කතා කළ සුමන්තිරන් වැන්නන් තාර්කික ප්‍රශ්නයක් මතු කළේය. මේ රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සජිත්ගේ මතය කුමක් දැයි අසමින් තර්කයක් ගොඩ නැගුවේය. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් රනිල් සතුටුදායක විසඳුමක් දීමට කැපවී සිටින බව ඔවුන්ගේ අදහස විය. සජිත් ඒ පිළිබඳව කතා නොකිරීම ඔවුන්ගේ ගැටලූව විය. ගැටලූව දිගින් දිගටම කල් යන්නට වූයේ ඒ ආකාරයටය.

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *