ඇපල් සමාගමෙන් නිපදවූ නවතම පරිඝකය මෙන්න Apple Mac Pro 2019.වීඩියෝ සහිතයි

පසුගිය වසර කිහිපය සලකන විට මැක් ප්‍රෝ උපාංගයන් බරපතළ ලෙසින් ප්‍රබලත්වයෙන් ඉහළ යෑමක් අපේක්ෂා කළ අතර, විශේෂයෙන්ම මැක් ප්‍රෝ උපාංගයන් නිර්මාණකරණයේ යෙදෙනා වෘත්තිකයින් විසින් තමන්ට ගැළපෙන උපාංගයක් ලෙසින් තෝරාගන්නේය යන කරුණ සැලකූ විටද වර්ක්ස්ටේෂන් පද්ධතීන් ලෙසින් මැක් ප්‍රෝ උපාංගයන්ගේ ප්‍රබලත්වය ඉහළ දැමීමක් බොහෝ දෙනා බලාපොරොත්තු විණි. මේ සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කිරීමට මෙම වසරේ නිකුත් වන නවතම Apple Mac Pro 2019 පරිගණකය සමර්ථ වනු ඇත.

මෙම නව Apple Mac Pro 2019 පරිගණකය එහි පූර්වජයන් හා සංසන්දනය කරන විට වඩාත් ටවර් පරිගණකයක හැඩහුරුකම් ගනී. එසේම සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි කේසිනයක් සමගින් එහි අභ්‍යන්තර උපාංග වෙත පරිශීලකයෙකුට ඉතාමත් පහසු ප්‍රවේශයක් ලබාදෙන්නට සමත් වෙයි. එලෙසින්ම වෙනත් ඕනෑම සාම්ප්‍රදායික ඩෙක්ස්ටොප් පරිගණකයක් ලෙසින් මෙයද පහසුවෙන්ම දෘඩාංගයන් ප්‍රබලත්වයෙන් ඉහළ දැමීමටද අවකාශය ලබාදේ. සරලවම සඳහන් කරන්නේ නම් මෙය වින්ඩෝස් වර්ක්ස්ටේෂන් පරිගණකයක දෘඪාංග තත්ත්වය ඉහළ දීමේ සහයෝගය සහිත ඇපල් මැක් පරිගණකයකි.

කෙසේ වුවත් උග්‍ර ඇපල් ලෝලියෙකුගේ සිත බිඳ දමමින් සම්පූර්ණයෙන්ම ඇපල් නිමාවෙන් එපිටට යෑමටද නව Apple Mac Pro 2019 උපාංගයේ නිර්මාණකරුවන් දරුණු වී නොමැත. සාම්ප්‍රදායික ටවර් පරිගණකයකට වෙනස් ලෙසින් මෙම උපාංගයේ බලගැන්වුම් බොත්තම සහ අනෙකුත් පාලකයන් ඇත්තේ ටවර් එක ඉහළ මතුපිට වේ. එසේම ටවර් එක ඉහළ මතුපිට ඇති වෘත්තාකාර අගුළුලන හැඬලය ඔස්සේ ඔබට අවශ්‍ය විටක සම්පූර්ණ කේසිනයම පහසුවෙන්ම අගුළු හැරිය හැකි වේ. එනම්, එය අගුළු හැරි විට සමස්ත කේසිනයම පහසුවෙන් ඉවත් කර ඇතුළත ඇති දෘඪාංග පද්ධතිය වෙත ඕනෑම දිශාවකින් ප්‍රවේශ වීමේ හැකියාව තිබේ.

මෙහි දෘඪාංග බලය සම්බන්ධයෙන් සලකන විට, නිෂ්පාදකයින් විසින් මෙහි අලෙවිකරණ පාඨයක් ලෙසින් දක්වන්නේ මෙය 28-Core ප්‍රොසෙසරයකින්, ග්‍රැෆික් ප්‍රොසෙසරයන් හතරකින් සහ ටෙරාබයිට් 1.5ක රැම් මතකයකින් යුතු අතිදැවැන්ත බලයක් සහිත යන්ත්‍රයක් ලෙසිනි. සැබවින්ම මෙහි 8th-gen Intel Xeon ‍ප්‍රොසෙසරයක් තිබෙනා අතර, එය හරයන් 8ක සිට 28ක් දක්වා  ප්‍රමාණයන්ගෙන් පැමිණේ. එසේම ග්‍රැෆික් බලය සඳහා මෙහි ඇපල් සමාගම විසින් MPX Module ලෙසින් හඳුන්වා දෙන, ගැළපෙන ග්‍රැෆික් කාඩ්පත් දෙකක් සවි කළ හැකි මොඩියුලයන් දෙකක් අඩංගු වේ. එනම් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික් කාඩ්පත් හතරක පද්ධතියක් පහසුවෙන්ම Apple Mac Pro 2019  පරිගණක උපාංගය තුළට ඇතුළත් කළ හැක. මෙය නිකුත් කිරීමේදී මෙම MPX මොඩියුලය AMD Radeon Pro 580 සහ Pro Vega II ග්‍රැෆික් කාඩ්පත් සඳහා සහාය පළ කරනු ඇත.

මෙහි පරිගණක බලය සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී Apple Mac Pro 2019 පරිගණකය මතක කාඩ්පත් සවි කළ හැකි ද්වාර ගණනාවක් සහිතව පැමිණෙනු ඇත. එනම් මෙහි ටෙරාබයිට් 1.5ක් දක්වා රැම් මතකය ඉහළ දැමිය හැකි ගිගාබයිට් 128ක රැම් කාඩ්පත් 12ක් සවි කිරීම සඳහා ද්වාරයන් තිබේ. එසේම මෙය ටෙරාබයිට් 4ක SSD මතකයක් සහිතව පැමිණෙන අතර, ඕනෑම මොහොතක මතක ධාරිතාවද අවශ්‍ය පමණින් ඉහළ දැමීමට හැකි හැකියාවන් මෙහි සපයා තිබේ.  කෙටියෙන්ම පවසන්නේ නම් මෙය අනාගතයටද එක සේ සරිලන ප්‍රබල පරිගණක හැකියාවන්ගෙන් යුක්ත යන්ත්‍රයක් වනු ඇත. ඔබට අනාගතයට ගැලළපෙන ලෙසින් මෙහි දෘඪාංගයන් යාවත්කාලීන කරනු විනා, නව වර්ක්ස්ටේෂන් පරිගණකයකට යෑමට අවශ්‍යතාවයක් පැන නොනඟිනු ඇත.

මෙහි නිෂ්පාදකයින් දක්වන ලෙසින්, මෙම පරිගණක යන්ත්‍රය Apple Afterburner නමින් හැඳින්වෙන සැකසුම් කළ හැකි ACIC පද්ධතිය වෙත සහාය දැක්වීමටද අවශ්‍ය හැකියාවෙන් යුක්ත වේ. මෙම ACIC පද්ධතියට තත්පරයට පික්සල් බිලියන 6.3 ක ප්‍රමාණයක් විකේතනය කිරීමට හැකියාව ඇති අතර, ඒ ඔස්සේ 8K ProRes RAW  වීඩියෝ ස්ට්‍රීම් තුනක් සහ 4K ProRes RAW වීඩියෝ ස්ට්‍රීම් දොළසක් තත්‍යකාලීනව විකේතනය කිරීමටද ඊට හැකියාව ලැබී ඇත.

මෙම දැවැන්ත පරිගණක හැකියාවන්ට අමතරව Apple Mac Pro 2019 පරිගණකයට තිරයන් හයක් දක්වා ප්‍රමාණයකට එක්වර සහාය දැක්වීමේ හැකියාව තිබේ. එසේම මෙහි ස්ථාපනය කළ ස්පීකර් පද්ධතියක් මෙන්ම 1.4kW බල සැපයුමක්ද ඇත. මෙහි වෙනම නිර්මාණය කළ වෙනස් කළ හැකි සිසිලන පද්ධතියක් ස්ථාපනය කොට තිබෙනා අතර, පරිගණක යන්ත්‍රය කෙතරම් ප්‍රබලත්වයෙන් වැඩි වුවත් ඊට ගැළපෙන ලෙසින් සිසිලන පද්ධතියේ කාර්‍යක්ෂමතාවයද ඉහළ දැමීමට ඒ අනුව අවකාශ ලැබෙනු ඇත. මෙහි ද්වාරයන් සම්බන්ධයෙන් සලකන විට PCI Express expansion පෝට් අටක්, USB 3.0 පෝට් 2ක්, Thunderbolt පෝට් 2ක් (Thunderbolt 3, USB-C, සහ DisplayPort සඳහා සහායද සමගින්), Ethernet පෝට් 2ක් සහ 3.5mm ජැක් එකක් තිබේ.

කෙසේ වුවත් මෙම අතිදැවැන්ත පරිගණක බලයෙන් යුතු යන්ත්‍රය අතිදැවැන්ත මිලකට අලෙවි වීමද බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් වන අතර, දැනට මෙම නව Apple Mac Pro 2019 පරිගණකය ඇමරිකානු ඩොලර් 5,999ක මිලකට අලෙවි කෙරෙනු ඇත.

WWDC 2019 Keynote

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *