ආණ්ඩුව කියන්නේ බොරු – SOFA ගිවිසුම ක්‍රියාත්මකයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලිනා ටෙප්ලිට්ස් කියයි

පසුගිය මැයි 23 දින මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදුටු ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලිනා ටෙප්ලිට්ස් මහත්මිය සඳහන්කොට ඇත්තේ සෝෆා (SOFA) නමින් දැනටමත් ගිවිසුමක් තිබෙන බවය. නමුත් 1995 දී එළඹුණු එම ගිවිසුම අද යුගයේ අවශ්‍යතා අනුව යාවත්කාලීන කළ යුතු බවද ඇය එහිදී පවසා ඇති බව වාර්තා විය. ඇයට අනුව 1995 සිට පැවැත එන ගිවිසුම මගින් ඇමෙරිකානු හමුදා සහ

ශ්‍රී ලංකා හමුදා අතර පැවැත්වෙන ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම් සහ ඇමෙරිකානු හමුදාව විසින් ශ්‍රී ලංකාවේ හමුදාව පුහුණු කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාවේ තත්ත්වය පමණක් ආවරණය වේ.

ඒ අනුව කාලීන අවශ්‍යතාව වන ඇමෙරිකානු හමුදා ශ්‍රී ලංකාවට ඇතුල්වන ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා රජය එම හමුදාවලට සහ ඒවාට සේවා සපයන සිවිල් පුද්ගලයන්ට මෙන්ම කොන්ත්‍රාත්කරුවන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න ගිවිසුමට ඇතුළත්විය යුතු බව ඇය පවසයි. එම අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඇමුණුම ‘බී‘ යනුවෙන් පිටු 7ක රහසිගත බව සඳහන් කළ ලේඛනයක් ආවරණ ලිපියක් සමග එවා ඇත. (එම ලේඛනය අප සතුව ඇත) එම ලේඛනය මගින් ඇමෙරිකානු තානාපති අංශ ඉල්ලා සිටින්නේ 1995 දී එකඟ වූ ගිවිසුමට ඇමුණුමක් ලෙස එම ලේඛනය ඇතුල්කරන ලෙසය. ඒ අනුව විදේශ කටයුතු ලේකම්වරයා එම ඉල්ලීම පිළිගෙන පිළිතුරු ලිපියක් යැවූ සැනින් අදාළ ඇමුණුම ”බී” ඇතුළත්ව ගිවිසුම ක්‍රියාත්මක වේ. එම ගිවිසුමේ සඳහන් ආකාරයට එසේ ඇමෙරිකාව විසින් ලිඛිතව කරනු ලබන ඉල්ලීම් සහ ඒවා පිළිගත් බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ලේකම්වරයා විසින් යවන ලිපි ගිවිසුමේ කොටස් බවට පත්වේ. ඒ අනුව මීට මාස 10 කට පෙර කරනු ලැබූ ඉල්ලීම අනුව අදාළ පිළිතුරු ලිපිය මේ වනතුරු පමාකොට ඇතැයි ශ්‍රී ලංකාවේ ජනතාව විශ්වාස කරන්නේ නම් එය හුදු වරදවා ගැනීමක් පමණක් නොව අමන තකතීරු වරදවා ගැනීමක් ලෙස ඉතිහාසය විසින් තීන්දු කරනු ඇත. එසේ උපකල්පනකය කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ හැක. සෝෆා (SOFA) හෙවත් ‘‘Status of Fores’’ යන ගිවිසුම දෙපාර්ශ්යක් විසින් උත්සවාකාරයෙන් දෙපස වාඩි වී අත්සන් කරන්නක් නොවන බව ඉතා පැහැදිලිය. පාර්ශ්ව දෙකක් එම ගිවිසුමට එළඹෙන්නේ එක් පාර්ශ්වයක් විසින් කරනු ලබන ඉල්ලීම අනෙක් පාර්ශ්වය විසින් පැළිගැනීමෙනි. එය හුදු ‘‘විධායක ගිවිසුමක්’’ ලෙසද අර්ථ දැක්වේ.

එම ගිවිසුම තනි ගිවිසුමක් ලෙස ක්‍රියාත්මක වන්නක් නොවේ. එය වෙනත් ගිවිසුමක් හෝ එකඟතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන ද්විතීක එකඟතාවක් පමණි. එදා යුද්ධය පැවති කාලයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් ඇමෙරිකානු තානාපති අංශ වලින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඇතිකරගත් එකඟතාවක් මත පුහුණුකරුවන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු නිලධාරීන්ට තානාපති මුක්තිය ලබාදීම සඳහා 1995 දී සෝෆා ගිවිසුමට එකඟ විය. ඉන්පසුව 2007 දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර ACSA හෙවත් ‘‘අත්පත්කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම’’ අත්සන් කෙරිණි. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන හමුදා නිලධාරීන් සහ තොටුපළවලට සේන්දු වන ගුවන් සහ නාවික යාත්‍රාවලට අදාළව තානාපති මුක්තිය ලබාදීම සඳහා 1995 දී SOFA ගිවිසුමට ඇතුල්කොට තිබූ ප්‍රතිපාදන ප්‍රමාණවත් විය.

ඊට හේතුව 2007 දි අත්සන් කළ ACSA ගිවිසුම පිටු හතකින් සමන්විත වූ ඉතා සරල ගිවිසුමක් වීමය. එම ගිවිසුම අනුව දෙපාර්ශ්වයේ එකඟතාව මත පාර්ශ්ව දෙකකට අදාළ රටවල් දෙකේ තොටුපළවල් භාවිත කිරීමට සහ සේවා ලබාගැනීමට ඉඩ සැලසේ. එම නිසා 2007 දී 1995 SOFA ගිවිසුම සංශෝධනය කිරීමට හෝ ඊට අමුණුම් ඇතුල් කිරීමට අවශ්‍ය නොවීය. නමුත් 2017 දී ACSA ගිවිසුම දීර්ඝ කිරීමේදී හෙවත් නැවත අත්සන් කිරීමේදී එදා පිටු 7 ක් වූ ලේඛනය පිටු 83 ක් දක්වා දීර්ඝ වූ අතර ඊට ඇමුණුම් 50 ක් එකතු විය. ඒ අනුව දෙවන ACSA ගිවිසුම පළමු වැන්නට වඩා බෙහෙවින් වෙනස් වී ඇති බව පාසල් දරුවකුට වුවද වටහාගත හැක. එම ගිවිසුම රජය විසින් රටට එළිදරව් නොකළ නමුත් ශ්‍රී ලංකාවේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන ලියුම්කරු එහි අඩංගුවන ප්‍රතිපාදන පුවත්පත් කළාප 03 කින් එළිදරව් කරනු ලැබීය.

එසේ හොර රහසේ අත්සන් කළ දෙවන ACSA ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ඇතුළත්වීමට බලය ලැබෙන සියලූම ඇමෙරිකානු හමුදා විශේෂයෙන් නම්කොට ඇත. එසේම එම හමුදාවලට ද්විපාර්ශ්වික එකඟතාව ලබා ගැනීමෙන් තොරව හදිසි අවස්ථාවල සහ පුරෝකථනය කළ නොහැකි සිදුවීම් වලදී ඒක පාර්ශ්වීයව රට තුළට ඇතුල්විය හැක. පළමු ගිවිසුම අනුව ද්විපාර්ශ්වීය එකඟතාව අවශ්‍ය වේ. එසේම පළමු ගිවිසුම වසර 10 කට සීමා වූ අතර දෙවන ගිවිසුම විවෘත අන්තයක් හෙවත් අනන්තය දක්වා වලංගු වේ. එම ගිවිසුම මගින් ඇමෙරිකානු හමුදාවලට ශ්‍රී ලංකාව අංග සම්පූර්ණ සැපයුම් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමේ හැකියාව ඇත. ACSA ගිවිසුමේ මූලික කොන්දේසි අනුව ඇමෙරිකානු හමුදාවට ශ්‍රී ලංකාවේ ඕනෑම තොටුපළකට ගොඩ බැසීමට මෙන්ම බිමින් අහසින් සහ මුහුදෙන් ගමන් කිරීමට සහ කඳවුරැ බැඳීමට බලය ලැබේ. එසේම ඇමෙරිකානු යාත්‍රා වලට සහ හමුදාවලට අවශ්‍ය ආයුධ හැර සෙසු සියලූම සැපයුම් ලබාගැනීමේ බලය ලැබේ.

සියලූ සැපයුම් යන්නට සාමාන්‍ය හමුදාවකට අවශ්‍යවන භාණ්ඩ සහ සේවා වලට අමතරව විනෝදය සැපයීමේ සේවාවන්ද අයත් වේ. ශ්‍රී ලංකාවේ හමුදාව මෙන් නොව ඇමෙරිකානු හමුදාවන්ට එරට රජය විසින් ලබාදෙන සේවාවන් අතර පුමුඛතම සේවාවක් වන්නේ විනෝදය සැපයීම බව ලෝකයට රහසක් නොවේ. දෙවන ලෝක යුද සමයේදී එවැනි සේවා සැපයීම සඳහා කොරියාවෙන් ජපානයෙන් සහ පිළිපීනයෙන් ලිංගික වහල් සේවය සඳහා බලහත්කාරයෙන් කාන්තාවන් රැගෙන යෑම පිළිබඳ ඇමෙරිකානු හමුදාවට බරපතළ චෝදනා එල්ල විය. ඇමෙරිකාව සමග දැනුටමත් අත්සන් කොට ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් ඵක්‍ක්‍ ගිවිසුම අනුව ත්‍රිකුණාමලය ආශ්‍රිතව විදේශිකයන්ට හෝටල් සහ නේවාසික පහසුකම් ඉදිකිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ ඇමෙරිකානු හමුදාවට අවශ්‍ය විනෝදය සැපයීමේ සේවාව සඳහා බව ඉතා පැහැදිලිව තේරුම්ගත හැක.

කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට මේ වන විටත් SOFA ගිවිසුම දිගුකර ගැනීම සඳහා අවශ්‍ය ලිපිය යැවීම හෙවත් නව ගිවිසුමට ‘එළඹීමේ ක්‍රියාවලිය දැනටමත් අවසන් බවට දැඩි ලෙස උපකල්පනය කිරීමට හේතුවන්නේ 2017 දී ACSA ගිවිසුම දීර්ඝ කිරීම සිදුවූ ආකාරයයි. ”ද ටයිම්ස්” පුවත්පත හෙළිදරව් කළ ආකාරයට එම ගිවිසුම එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා විසින් අත්සන් තබන්නේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සහ විදේශ ලේකම් ධුරය දැරූ පුද්ගලයකු විසින් කරනු ලැබූ අයුතු බලපෑම් නිසාය. එම ලේකම්වරයාගේ ප්‍රකාශ අනුව එම බලපෑම කොතෙක් ප්‍රභල වීද යත් අදාළ ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ බරින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් තොරව සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ සමාලෝචන තමා වෙත ලැබීමට පෙර ගිවිසුමට අත්සන් තබා ඇත.

ඊට අදාළව එවකට සිටි විදේශ අමාත්‍යවරයා ද බලපෑම් කළ බවට චෝදනා එල්ල වෙයි. මෑතක දී ලංකාවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබූ තොරතුරු අනුව එසේ අයුතු බලපෑම් කළ ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයාට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතන හෙවත් USAID ආයතනය විසින් රක්ෂාවක් ලබා දී ඇත. එම රක්ෂාව පාර්ලිමේන්තුවට සහ කථානායකවරයාට උපදෙස් දීමය. ඒ අනුව ඔහු තවමත් ඉතා බලවත් පුද්ගලයෙකු බවට සැකයක් නැත. එසේම හිටපු විදේශ අමාත්‍යවරයා ද මුදල් අමාත්‍යංශයට අමතරව විශේෂ අවස්ථාවලදී විදේශ අමාත්‍යාංශයේ වැඩබලන බවටද චෝදනා එල්ලවෙයි. ඊට අමතරව රට පාවා නොදෙනු ඇතැයි ප්‍රබල මහජන විශ්වාසයට පාත්‍රව සිටියද වර්තමාන විදේශ අමාත්‍යවරයා තම නිලධාරීන්ට බොහෝ නිදහස ලැබෙන ලෙස කටයුතු කරන බවට චෝදනා එල්ල වේ. ඒ අනුව වර්තමාන විදේශ අමාත්‍යවරයාගේ එම ‘‘ගුණයද’’ රටට බරපතළ ගැටලූවකි. එවැනි තත්ත්වයක් යටතේ සෝෆා ගිවිසුම බලාත්මක කිරීම සඳහා ඇමෙරිකානු තානාපති අංශ විසින් ඉල්ලා සිටින ලිපිය මේ වනවිට යවා ඇති බවට ඉතා තර්කානුකූලව උපකල්පනය කළ හැක. එසේ නොවේනම් 2018 අගෝස්තු මාසයේ සිට එම ඇමරිකානු තානාපති අංශ විසින් සෝෆා ගිවිසුමට ඇමුණුම එකතු කරන ලෙස ඉල්ලමින් එවූ ලිපියට යැවූ පිළිතුරු ලිපිය කුමක්දැයි රජය විසින් හෙළිදරව් කළ යුතුය.

ඉහත සඳහන් කළ ආකාරයට SOFA ගිවිසුමේ නෛතික සොභාවය අනුව පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඇමරිකාවට සැපත්වූ අවස්ථාවේදී හෝ නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට සැපත් වීමට යෙදී තිබූ ඇමරිකානු රාජ්‍ය ලේකම් විසින් ඊට අත්සන් තැබීමට නියමිතව තිබූ බව පිළිගත නොහැක. එවැනි මෝඩ සංදර්ශන පැවැත්වීමට දෙපාර්ශ්වයම අඳබාල වනු ඇතැයි සිතිය හැකිද? විශේෂයෙන්ම අදට වඩා ආණ්ඩුවට යම් ශක්තියක් තිබූ 2017 දී පවා ACSA ගිවිසුම හොර රහසේ අත්සන් කළ තත්ත්වයක් යටතේ අද වැනි අමාරු කාලයක ආණ්ඩුව විසින් SOFA ගිවිසුම උත්සවාකාරයෙන් අත්සන් කරනු ඇතැයි සිතිය හැක්කේ දේශපාලන ළදරුවන්ට පමණි. ඇමරිකාවේ බලවත්ම ලේකම්වරයකු වන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා විසින් ශ්‍රී ලංකා සංචාරය අත්හැර දමන්නේ මේ මොහොතේ මෝඩ සංදර්ශන වලින් සිදුවන අනර්ථය ඔහු ඉතා හොඳින් දන්නා නිසා විය හැක.

පසුගියදා කාලයේ දී ආණ්ඩුවේ යම් පාර්ශ්ව කියා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් (MCC) ගිවිසුම තවම අත්සන් කොට නැති බවය. නමුත් ‘‘කොම්පැක්ට්’’ (Compact) ලෙස හඳුන්වන වැඩ වැඩසටහනට අදාළව එකඟතාව අත්සන්කොට නැතත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් අත්සන් කොට ඇති බව (කොම්පැක්ට්) නම් ලේඛනයේ සඳහන් වේ. එසේ සැබෑ ලෙසම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම් අත්සන් කොට අදාළ ආධාර මුදල වන ඩොලර් මිලියන 480 න් පළමු කොටස ලබාගෙන අවසන් වූ පසුව ද ආණ්ඩුව කියන්නේ තමා එම ගිවිසුම අත්සන් නොකළ බවය. ජනාධිපතිවරයා කරනු ලබන ප්‍රකාශ වලින් පෙනී යන්නේ එතුමාද එම පට්ටපල් බොරු දැන හෝ නොදැන විශ්වාස කරන බවය. ඒ නිසා දැන් සේාෆා (SOFA) අත්සන් කොට නැති බව පිළිගන්නා පිරිස ද ජනාධිපතිවරයා ගේ ගොඩට වැටෙනු ඇත.

ඉහත සඳහන් කළ ආකාරයට සෝෆා යනු (SOFA) ආරක්ෂක හෝ හමුදාමය මැදිහත්වීමක් සඳහා වන මූලික ගිවිසුමක් නොවේ. එය එවැනි මූලික ගිවිසුමකට පහසුකම් සලසන විධායක එකඟතාවකි. ඇමරිකාව විසින් සෝෆා නමින් හැඳින්වෙන ගිවිසුම් ලෝකයේ රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් සමග ඇති කරගෙන ඇත. නේටෝ හමුදාවට පහසුකම් සැපයීම සඳහා ඇමරිකාව විසින් නේටෝහි ගිවිසුම අත්සන් කළ රටවල් 24 ක් සමග බහුපාර්ශ්වීය සෝෆා ගිවිසුමක්ද අත්සන් කොට ඇත. එම ගිවිසුම නේටෝ ගිවිසුමට ද්වීතික වේ. ඒ ආකාරයට SOFA ගිවිසුම අත්සන් කිරීමේදී කටයුතු කරන ආකාරය පිළිබඳ ඇමරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් කළ 01.12.2008 දින දරන පර්යේෂණ සේවා පත්‍රිකාවට අනුව යම් රටකට අදාළව සෝෆා ගිවිසුමක අඩංගු විය යුතු කරුණු තීරණය කරනු කරනු ලබන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව එකට එක්ව කරනු ලබන විශ්ලේෂණයකට පසුවය. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට අදාළව එම රටේ උපායමාර්ගික වැදගත්කම සහ ඊට අදාළව ක්‍රියාත්මක වන මූලික ආරක්ෂක ගිවිසුම් අනුව සෝෆා ගිවිසුමට ඇතුළත් කරන දේ තීරණය වේ. එහෙත් එම වාර්තාවට අනුව එක් මූලික සහ අවම කොන්දේසියක් ඇත. ඒ ඇමරිකාවට පරිබාහිර රටකදී ඇමරිකානු නිලධාරීන් අපරාධ චෝදනා වලින් ගලවා ගැනීමය.

ශ්‍රී ලංකාවට අදාළව සෝෆා ගිවිසුමට ඇතුළත් කරන ඇමරිකානුවන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලයිස්තුවක් ඇත. ඊට අනුව එම ඇමරිකානු හමුදාවේ සේවය කරන මිලියන 2 කට අධික හමුදා නිලධාරීන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවය කරන ලක්ෂ 7 කට අධික සිවිල් නිලධාරීන්ගෙන් මෙන්ම ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවා සපයන ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයෙකු ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන්ට 1961 වියානා සම්මුතියෙන් එකඟවී ඇති සම්පූර්ණ තානාපති වරප්‍රසාද සහ මුක්තියට අමතරව තවත් බොහෝ වරප්‍රසාද ලැබේ. ඒවා අතර නිල ඇඳුම සහ ආයුධ සහිතව ඕනෑම ප්‍රවාහන මාධ්‍යයකින් ශ්‍රී ලංකාව තුළ ඕනෑම තැනක සැරිසැරීමට සහ කඳවුරු බැඳීමට ඇති අයිතිය ප්‍රධාන වේ. එසේම ඔවුන්ට තමාගේ රේඩියෝ සංඥා ඇතුළු සියලූ සන්නිවේදන උපකරණ නිදහසේ භාවිත කළ හැක. ඊට අමතරව ඕනෑම තොටුපළකින් රටට ඇතුල් වන විට සහ පිටත් වන විට පුද්ගලයන් සහ ඔවුන්ගේ වාහන පරීක්ෂා කිරීමෙන් සහ බදු අය කිරීමෙන් නිදහස් වේ. ඇමරිකානු හමුදා කඳවුරක් පවතින ජපානයේ හෝ කොරියාවේ මේ සියලූ වරප්‍රසාද සහ අයිතිවාසිකම් ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැත. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දු පැසිපික් සාගරයේ ක්‍රියාත්මක වන ඇමෙරිකානු හමුදාවේ ප්‍රධාන සැපයුම් හා මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගැනීමේ ඇමෙරිකානු වුවමනාව ඉතා හොඳින් තහවුරු වේ.

ඉරිදා දිවයින

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *