ආණ්ඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න කාලය ඇවිල්ලා තියෙන්නේ – 19 වෙනි සංශෝධනයෙන් මේ රටේ දේශාලන අස්ථාවරත්වයක් ඇති වුනා.වීඩියෝ සහිතයි

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකිවීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

” ගරු අගමැතිතුමනි, අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතර හමාරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණය තියන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මැතිවරණයකට යන්න දැන් තියෙන්නේ මාස 4-5ක වගේ කාලයක්. මේ ගතවුණු අවුරුදු හතර හමාරක කාලය තුල ආණ්ඩුව නරක් වුනානම් වුනේ මේ 19 වෙනි සංශෝධනය නිසයි. රටේ ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. එහෙම තත්ත්වයක් ඇති වුනේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසයි. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවෙ. 19 වෙනි සංශෝධනයෙන් මේ රටේ දේශාලන අස්ථාවරත්වයක් ඇති වුනා. එක නායකයෙක් නැතිව ගියා. 18 වෙනි සංශෝධනයත් 19 වෙනි සංශෝධනයත් අවලංගු කෙරුවොත් තමයි මේ රටට යහපතක් වෙන්නෙ”.

‘‘19 ඒකාධිපති…. 19 අස්ථාවරත්වය… රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නෙ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය නිසයි. 19 වෙනි සංශෝධනය ඇති නොවුනානම් මේ අවුරුදු හතර හාමාර මීට වඩා ජයග්‍රාහී සිවු වසරක්. ඒක නිසා අපි පිළිගන්න ඕන අපි අතින් වෙලා තියෙන වැරදි මොනවද කියලා”.

‘‘පාර්ලිමේන්තුවෙ 225 න් 215 ක් 19 වෙනි සංශෝදනයට ඡන්දෙ දුන්නා.19 වෙනි සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවෙ නෑ මේ රටට මේ විනාසේ සිද්ධවෙයි කියලා. ඒ නිසා අනාගතේ මේ රට ගොඩගන්නනම් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නෙ. ආණ්ඩුකම ව්‍යවස්ථාව තුල 18 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය අහෝසි කරපු දවසට මේ රටේ හොඳ පාලනයක් ගෙනියන්න පුලුවන් ජනතාව සතුටු වෙන. එතැනින් හොද ප්‍රතිපල පෙන්වන්න පුළුවන්.”

2Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *