එජාප විශේෂ කාරක සභාව හමුවේ දන නොනැමූ ජේ ජේ රත්නසිරි ලේකම්වරයාට දස දෙසින් ප්‍රශංසා

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඊයේ දින කැඳවූයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාය.

එහිදී අමාත්‍යංශ ලේකම්වරයා දැඩි ලෙස පීඩනයට පත් කරමින් ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ දෙමළ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයාය.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා යනු පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් චෝදනා එල්ල වූ රිෂාඩ් බදියූදීන් අමාත්‍යවරයාට සිය තනතුරින් ඉල්ලා  අස් වීමට සිදු වූ අවස්තාවේ බදියුදීන් සමග එක්ව තනතුරින් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍යවරයෙක් වීම විශේෂත්වයකි.

එවැනි පසුබිමක් සහිත පුද්ගලයන් තේරීම් කාරක සභාවේ සිටිමින් සිය රාජකාරිය නිසියාකාරව සිදු කළ නිළධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීම සමාජයේ දැඩි ආන්දෝලනයට හේතු වී තිබේ. ඒ අතර එම දේශපාලකයන් ඉදිරියේ නිර්භීතව අවශ්‍ය කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දුන් ජේ ජේ රත්නසිරි අමාත්‍යංශ ලේකම්වරයා සමාජයේ දැඩි ප්‍රශංසාවට ලක්වීමද විශේෂත්වයකි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයද ජේ ජේ රත්නසිරි අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ එතුමන් දැක්වූ නීර්භීතභාවය අගයා ලිපියක් යොමු කර තිබෙනවා. එහිදී එම සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන ලිපියක් මගින් පෙන්වා දෙන්නේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මතු කළ අසංවර, අතාර්කීක කරුණු හමුවේ ලේකම්වරයා දැක්වූ අදීනත්වය විශිෂ්ඨ බවයි.

විශේෂයෙන්ම සමාජජාලා මාධ්‍යයන්හි ජේ ජේ රත්නසිරි අමාත්‍යංශ ලේකම්වරයාට විශේෂ ස්තූතියන් පළව තිබුනා.

එවන් නිර්මාණ කිහිපයක් පහතින්,

එමෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව අගය කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විශේෂ ඇගැයීමේ ලිපියක් යොමු කර ඇත.

එම සම්පුර්ණ ලිපිය පහත දැක් වේ.

ජේ.ජේ. රත්නසිරි මහතා,
ගරු ලේකම්,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ,
නිදහස් චතුරශ්‍රය,
කොළඹ 7.

ගරු ලේකම්තුමනි,

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ පෙන්වූ අදීනත්වය ඇගයීම

අද උදෑසන දුරකථන මාර්ගයෙන් වාචිකව කරන ලද ඇගැයීමට අතිරේක වශයෙන් ඔබතුමන් වෙත ලිඛිත ඇගැයීමක් ලැබෙන්නට සලස්වන මෙන් අප සාමාජිකත්වය කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ලිපිය යොමු කරන්නට අදහස් කළෙමු.

පාස්කුදින ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සභාව හමුවේ ඊයේ දින සාක්ෂි ලබා දීමේදී ඔබතුමන් දක්වන ලද ඍජු බව, නිර්භීතබව සහ අදීන බව ශ්‍රී ලාංකිකයන් වශයෙනුත්, මෙරට ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය නියෝජනය කරන ආචාර්යවරු වශයෙනුත් අපගේ ගෞරව බහුමානයට ලක්වේ.

විශේෂ වශයෙන් යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා මතුකළ අසංවර, අතාර්කික කරුණු හමුවේ ඔබ දැක්වූ සංයමය, පරිචය සහ අදීනත්වය සමස්ත රාජ්‍ය සේවයටම අභිමානයක් ලෙස අපි දකින්නෙමු.

ඉදිරි කාලයේ ද රටත් ජනතාවත් වෙනුවෙන් අපක්ෂපාතී රාජ්‍ය සේවයක නියැලීමට ඔබතුමන්ට ධෛර්යය, ශක්තිය ලැබේවායි සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නෙමු.

තෙරුවන් සරණයි,

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන්,

මහාචාර්ය චන්න ජයසුමන
මහ ලේකම්

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *