බැඳුම්කර වංචාවේ 10 දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරයි

2015 පෙබරවාරි 27 වන දා සිදු වූ බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට අගවිනිසුරුවරයා අද නීතිපතිවරයාට අවසර දී තිබේ.

ඒ, බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පසුගියදා නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.

මොවුන්ට අමතරව තවත් විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත ය.

නඩුවේ ස්වභාවය, සංකීර්ණතාවය, බැරෑරුම්කම, මෙම වංචාවෙන් ආර්ථිකයට සිදු වූ අහිතකර බලපෑම මෙම නඩුවේදී සැලකිල්ලට ගැනෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළා ය.

2015 ජනවාරි 27 වන දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණයට කුමන්ත්‍රණය කිරීම එක් චෝදනාවකි.

මීට අමතරව ඊට අනුබල දීමෙන් පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ද සියලු ම විත්තිකරුවන්ට එල්ල වී තිබේ.

රුපියල් බිලියන 10.08 වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමට අදාළව පොදු දේපළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා අර්ජුන මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති පී. සමරවීර යන අයට චෝදනා එල්ල වී තිබේ.

මොවුන්ට එරෙහිව ඇති අධිචෝදනා ගණන 23කි.

එහි සෙසු විත්තිකරුවන් වන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා කසුන් ඕෂද පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, ඩී. මිත්‍ර ගුණවර්ධන, සී. රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දියපුංචිහේවා යන අයයි.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *