ඇමෙරිකා රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු කරන්නේ නැහැ, කණගාටුයි කියන්න කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය මෙම කියාවලිය මෙහෙයවූවා ආරක්ෂක ලේකම් ලෙස මම කරපු රාජකාරිය සම්පූර්ණයෙන්ම බාල්දු කළා-ගෝඨා.වීඩියෝ සහිතයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබිණි. මෙම අවස්ථාවට විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සිට පැමිණ සිටි විශාල ජනතාවක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

පැමිණ සිටි පිරිස හේතුවෙන් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මෙන්ම පර්යන්ත ගොඩනැගිල්ලේ මාර්ගයේ ද විශාල තදබදයක් ඇති වී තිබිණි. ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට ⁣මද වේලාවක එහි රැදී සිටීමට ද සිදු විය. තත්වය පාලනය කිරීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීහු, ඇමති ආරක්ෂක නිලධාරීහු සහ ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීහු කටයුතු කළහ.

තමාට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයේ පවරා ඇති නඩුව, ලංකා ආණ්ඩුව සහ ඔවුන්ට හිතවත් මාධ්‍ය විසින් ගොතන ලද බොරුවක් බව හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ කීය.

තමන් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටින කාලයේ දී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙක් හා තවත් පුද්ගලයෙකු විසින් තමා එයට වගකිව යුතු බවත් එයට යම් මුදලක් ලබා දිය යුතු බව සඳහන් කරමින් සිවිල් නඩුවක් දමා ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ ගෝඨාභය මහතා, මේ වන විට අමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ ලාංකීය හා අමෙරිකානු ජනතාවගෙන් තමාට ඉතා විශාල සහයෝගයක් ලැබුණු බවත්, එය හුදෙක් නඩුවක් නොව දේශපාලනමය ක්‍රියාවලියක් බව ද ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සම්බන්ධ කර ගනිමින් මෙය සිදු කර ඇති බවත්, මෙයට ජාත්‍යන්තරයේ ඇති එල්.ටී.ටී.ඊ හිදවාදී ඩයස්පෝරා සහ ලංකාවේ ඇතැම් පිරිස් සහය දක්වා ඇති බවත්, කැලිෆෝනියාවේ කොන්සල් ජනරාල් කාර්යාලය දක්වා මෙය ගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙවැනි චෝදනාවක් එල්ල කිරීම තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිදු කළ කාර්ය හා මුළු මහත් ලංකාවම බාල්දු කරන තත්ත්වයක් බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්ධුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු,රංජිත් සොයිසා, හිටපු අග්‍ර විනිසුරු සරත් සිල්වා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

356Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *