රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි, රට විකුණන නැති නිසා මින් පසු වර්ජන නෑ.වීඩියෝ සහිතයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද (9) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් රජ්‍ය සේවයටත්, සෞඛ්‍ය පද්ධතියටත් සහ පොදුවේ වෛද්‍යවරුන්ටත් බලපාන ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන නව අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

ලෝක වෙළඳ සංවිධානය තුළ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ගිවිසුම නැවත සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම සාකච්ඡාවේදී අගමැතිවරයා එකඟතාවය පළකළ බවද ඔහු කීවේය.

එමෙන්ම වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් මර්දනය කරන නීති ප්‍රතිපාදන අන්තර්ගත යෝජිත පනත මර්දනකාරී ස්වභාවයෙන් කිසිසේත් ඉදිරියට ගෙන නොයෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

මීට අමතරව ජාතික වැටුප් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවය සඳහා දීමනා ප්‍රතිපත්තිය සකස් කිරීම ආදී කරුණු ගණනාවක් සඳහාද එහිදී එකඟතාවය පළකළ බවද ලේකම්වරයා පැවැසීය.

මීට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශපාලන අතපෙවීම් වලින් තොර ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස්කර දීමටත් නව සෞඛ්‍ය ඇමතිවරයා සමඟ එක්ව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් අග්‍රාමාත්‍යවරයා ආශීර්වාදය පළකළ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *