බස්නායක – කපු ගැටුමකින් කතරගම දෙවොල තාවකාලිකව වසයි, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සේ සැරසුණු පිරිසක් දේවාලයේ යතුරු පැහැරගෙන ?

අද (22) අලුයම කතරගම රුහුණු මහා දේවාලයට කඩා වැදුණු ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සේ සැරසුණු පිරිසක් දේවාලයේ යතුරු පැහැරගෙන යාම හේතුවෙන් එහි අලුයම 4.30 ට පැවැත්වීමට නියමිතව තිබූ පූජාව පැවැත්වීමට නොහැකි වූ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා වූයේ මෙය කතරගම රුහුණු මහා දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතුන් අතර ඇති වූ ගැටුමක් උග්‍රවීම නිසා සිදුවූවක් බවය.

මෙලෙස දිනපතා පැවැත්වෙන අලුයම පූජාව නතර කිරීමට සිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව කතරගම වැසියෝ කියති.

කෙසේ හෝ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට මැදිහත් වීමටද සිදුව තිබේ. මේ වන විට තත්ත්වය පාලනය කොට ඇති අතර දේවාලය නැවත බැතිමතුන් සඳහා විවෘත වී ඇති බව වාර්තා වේ.

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ කපු මහතුන් අතර කලක් තිස්සේ පැවැති ආරවුල සම්බන්ධයෙන් කතරගම බස්නායක නිලමේ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනුයේ පුරාණ චාරිත්‍ර ධර්ම අනුව සහ විහාර හා දේවාලගම් පනත ප්‍රකාරව කතරගම දේවාලයේ සියලු බලතල ඇත්තේ බස්නායක නිලමේ වරයා සතුව බවය.

එමෙන්ම දේවාලයේ කපු මහතුන් ‘බෙත්මේ රාළ’ යනුවෙන් හඳුන්වන නිලයට යටත්ව කටයුතු කළ මුත් දැන් කලක සිට එම චාරිත්‍ර නිසි අයුරින් ඉටු නොවීමද මෙම ගැටුමට හේතුවකැයි එම ආරංචි මාර්ග පවසයි.

කතරගම රුහුණු මහා දේවාල ආරංචිමාර්ග වලට අනුව අවසන් වරට මෙලෙස කතරගම දේවාලයේ පූජාවක් නතරකොට ඇත්තේ පසුගිය පෙබරවාරි 09 වෙනිදාය. ඒ දේවාල භූමියට අයත් බෙහෙත් වත්ත නම් හඳුන්වන ස්ථානයක තිබී මළ සිරුරක් හමුවූ බැවිනි.

දේවාලය හා සම්බන්ධ පැරණි චාරිත්‍ර ධර්ම අනුව මෙලෙස දේවාල පරිශ්‍රය තුළ කිසිවෙකු මිය ගිය හොත් හෝ මළ සිරුරක් තිබුණ හොත් පුරා දින 07 ක් දේවාලය වැසිය යුතු බව තතුදත් ආරංචි මාර්ග කියයි. ඉන්පසු නැවත දේවාලය විවෘත කළ හැක්කේ දේවාල භූමියේ කිරි දියර ඉස විශේෂ දේව පූජාවක් පැවැත්වීමෙන් පසුවය.

එහෙත් මෙම මළ සිරුර හමුවූ දිනම එලෙස දේවාල භූමිය පිරිසිදු කොට එදිනම පස්වරු 6.30 පූජාව පැවැත්වූ බව බස්නායක නිලමේ ඩී.පී කුමාරගේ මහතා පැවසීය. කාලීන අවශ්‍යතාවය සලකා කපු මහතුන්ගේ ද අනුමැතියෙන් මෙබඳු පැරණි චාරිත්‍ර ධර්ම උල්ලංඝනය වීම කිසිසේත් යහපත් තත්ත්වයක් නොවන බව කතරගම දේවාලය හා සම්බන්ධතාවයක් ඇති වැඩිහිටි ප්‍රභූවරයෙක් කීය.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *