රවී ජනාධිපතිවරයා හමුවී තමාගේ ඇමැති ධුරය වෙනස් නොකරන ලෙසට ඉල්ලීමක්, මංගල සමරවීරට මුදල් ඇමැති ධුරය බාරගන්නා ලෙසට අගමැති රනිල්ගෙන් ඉල්ලීමක්,මුදල් සහ විදේශ ඇමති දුරවලට යහපාලනය ඇමතිවරු හොයයි

මුදල් අමාත්‍ය ධුරය බාර ගන්නා ලෙස විදේශ ඇමැති මංගල සමරවීර මහතාගෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් විසින් ඉල්ලා ඇති බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් මුදල් ඇමැති රවී කරුණානායක සම්බන්ධයෙන් විපක්ෂයෙන් හා ආණ්ඩු පක්ෂයේම මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා නිසා ඔහුව එම ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වෙමින් තිබිණි. ඒ අනුව මෙම මස මැද භාගයේ දී ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා සූදානමින් පසු වූ බව ද වාර්තා විය.

මුදල් ඇමැති ධුරය වෙනස් කිරීම සඳහා අගමැතිවරයාගේ ද එකඟතාව ලැබී තිබුණු අතර මෙම ධුරය භාරගන්නා ලෙස ඇමැති චම්පික රණවක මහතාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණි. එහෙත් ඊට ඔහු අකැමැති වීමත් එජාපයේ ජ්‍යෙෂ්ඨයන් විසින් තම පක්ෂයට හිමි මෙම ඇමැති ධුරයට එජාපයේම අයකු නම් කළ යුතු බවට එල්ල කළ බලපෑමත් මත මංගල සමරවීර මහතාගෙන් එම ඉල්ලීම සිදු කර තිබේ. එහෙත් තමන්ගේ ගෙදර බජට් එකවත් හරියට හදා ගන්න බැරි මට රටේ බජට් එක හදන්න නොහැකි බව කියමින් ඒ ඉල්ලීම සමරවීර මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මංගල සමරවීර මහතා විදේශ ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තරය හා ගනුදෙනු කිරීමේ දී අනුගමනය කරන ක්‍රමවේදයන් හා ඔහු විසින් සිදු කෙරෙන ප්‍රකාශ නිසා ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂයේ කොටස් සමරවීර මහතාව විදේශ ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් තිබේ. මේ තත්ත්වය මත ඇමැති ධුරය වෙනස් කිරීමෙන් ප්‍රශ්න දෙකකට විසඳුම් ලැබෙන බවට එජාප නායකත්වය විසින් සමරවීර මහතාට පෙන්වා දී ඇත. එහෙත් සමරවීර මහතා මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දී නැත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය යටතේ ඉතා කෙටි කලක් සමරවීර මහතා නියෝජ්‍ය මුදල් ඇමැති තනතුර හොබවා ඇත. කෙසේ නමුත් මුදල් ඇමැති ධුරය දරන රවී කරුණානායක එම ධුරය මංගල සමරවීර මහතාට ලබා දීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කර, තමන් ඇමැති ධුරයෙන් ඉවත් නොවන බවට එජාප නායකත්වයට දන්වා ඇති බවට එජාප ආරංචි මාර්ග පවසයි. ඔහු ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරයට පෙර දින ජනාධිපතිවරයා හමුවී තමාගේ ඇමැති ධුරය වෙනස් නොකරන ලෙසට ඉල්ලීමක් සිදු කර ඇති බව ද දැන ගැනීමට ඇත. කෙසේ නමුත් මෙරට ආර්ථිකය බරපතළ අර්බුදකාරිත්වයකට ලක් කළ බවට කරුණානායක මහතාට චෝදනා එල්ල වී ඇත.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කෙරුණු වාර්තාවෙන් විදේශ සංචිත කඩා වැටීම, වැඩි වශයෙන් ණය ගැනීම, අපනයනයන් අඩු වීම, නිවැරැදි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපොහොසත් වීම ආදී චෝදනා රැසක් එල්ල කර තිබිණි. එමෙන්ම රවී කරුණානායක මහතා අනෙක් ඇමැතිවරුන්ගේ විෂය පථයට අයත් ආයතනයන් මුදල් අමාත්‍යාංශයේ අණසකට යටත් කර ගැනීමට නිරන්තරයෙන් දරනු ලබන වෑයම නිසා ඇමැතිවරු ගණනාවක් විසින් අගමැතිවරයාට පැමිණිලි ඉදිරිපත් කිරීම පසුගිය කාලයේ සිදුව තිබිණි. එමෙන්ම පිළිගත් මූල්‍ය නීති රීතිවලට එපිටින් ගොස් ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් වෙත වැඩි වශයෙන් සැලකීමට යාම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇත.

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරය අත්හරින්නේ නම් ඒ වෙනුවට විදේශ අමාත්‍ය ධුරය ලබා දිය හැකි බවට අගමැතිවරයා යෝජනා කර තිබෙන බවත් එජාප ආරංචි මාර්ග පවසයි. එහෙත් ඔහු ඒ ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේ නමුත් සිය ඉන්දුනීසියානු සංචාරයෙන් පසුව මෙම මස15 වන දින හෝ ඒ ආසන්න දිනක ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා පූර්ව සූදානමකින් සිටිය ද ඒ තවදුරටත් කල් යනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. මාර්තු 22වන දින ජනාධිපතිවරයා රුසියාවේ නිල සංචාරයක් බලා පිටත් වීමට ද නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බවට මීට පෙර ප්‍රකාශයට පත් වූව ද ඒ අත්හිටුවා රවී කරුණානායක මහතාව මූල්‍ය අරමුදලේ වොෂිංටන් මූලස්ථානය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. මේ අනුව රවී කරුණානායක මහතා මේ මස13 වනදා සිට 23 වන දින දක්වා ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ද වාර්තා වේ.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *