එමිල් කාන්තන්ට වරෙන්තු

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් මිලියන 167ක මුදලින් එකදු හෝ නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිත කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සමග චෝදනා ලැබ සිටින එමිල් කාන්තන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ඒ සඳහා වරෙන්තුවක්ද අද (15දා) නිකුත් කළාය.

අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටින මෙම නඩුවේ දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් නමැත්තා මෙම නඩුවට ඉදිරිපත් වීම සඳහා ලංකාවට නොපැමිණෙන බව ලිපියක් මගින් දැනුම් දී ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා දැනුම්දුන් අවස්ථාවේදී එමිල් කාන්තන් නමැති විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය එලෙස නියම කළාය.

මෙම නඩුව සඳහා අධිකරණයට ඉදිරිපත් වන්නේද? නැද්ද? යන්න දැනුම් දී සඳහා අද (15දා) මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය එලෙස නියම කළාය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් නමැත්තා හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, රොහාන් සාලිය අබේසිංහ සහ ජයන්ත ඩයස් සමරසිංහ යන මහත්වරු තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *