විජේදාස – චම්පික හැප්පෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ දින කිහිපයක්ම සිටියේ පාර්ලිමේන්තුවේය. තමන්ගේ අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේදී ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට අමතක කළේ නැත. පසුගිය සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විවාදයට ගත් නිසා ඔහු දවසේම ගතකළේ පාර්ලිමේන්තුවේය. පාර්ලිමේන්තුවේ සිටි ඔහු මැති ඇමැතිවරු සමග දේශපාලන කතාබහකට වෙලාව වෙන්කරගැනීමටද අමතක කළේ නැත.

නොයෙක් දේශපාලන කතාබහ මැද මෛත්‍රී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයට පැමිණියේ තවත් ඇමැතිවරු පිරිසක් සමගය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි ද සොයිසා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ලසන්ත අලගියවන්න සහ මනූෂ නානායක්කාර මෛත්‍රී සමග දිවා ආහාරය ගැනීමට පැමිණියහ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ රංජිත් සොයිසා මන්ත්‍රීවරයාද දිවා ආහාරය ගැනීමට පැමිණියේය.

“රංජිත් අයියේ අන්න ජනාධිපතිතුමා කතා කරනවා” මනූෂ කීවේය. ඒ සමගම මහින්ද සමරසිංහ ඇමැතිවරයාද රංජිත් සොයිසාට කතා කළේය. එවිට ඔහු මෛත්‍රී දෙස බැලුවේය. මෛත්‍රීත් තමන් අසලට එන්නැයි අතින් සංඥා කළේය.

රංජිත් සොයිසා මෛත්‍රී අසලට යනවිට ඔහුට අසුන් ගැනීමට පුටුවක් තිබුණේ නැත. ඩිලාන් පෙරේරා වහාම නැගිට රංජිත් සොයිසාට වාඩිවීමට පුටුවක් දුන්නේය.
“කොහොමද රංජිත් වැඩකටයුතු” මෛත්‍රී කතාවට මුලපිරුවේය.
“වැඩ ටික කරගෙන යනවා සර්” රංජිත් සොයිසා කීවේය.
“අපි දෙගොල්ලෝ වෙන්වෙලා වැඩකරන්න බැහැ. අපි එකතුවෙන්න ඕන. එකතුවෙලා වැඩකරන්න ඕන” මෛත්‍රී පැවැසුවේය.
“ඒක නම් හොඳ අදහසක්” රංජිත් සොයිසා උත්තර දුන්නේය.
“එකට වැඩකරන්න පුළුවන් වැඩපිළිවෙළක් මම හදලා තියෙන්නේ. ඒකත් එක්ක අපි එකතුවෙමු” මෛත්‍රී කීවේය.
“ඒක හොඳයි. ඒත් ඒ වැඩපිළිවෙළ විශ්වාසවන්ත වැඩපිළිවෙළක් වෙන්න ඕන. දන් දෙපැත්තම ගොඩක් දුරස්වෙලා තියෙන්නෙ. මේ දුරස්බව අඩු කරන විශ්වාසවන්ත වැඩපිළිවෙළක් එනවා නම් ඒක හොඳයි” රංජිත් සොයිසා කීවේ සුභවාදීවය.
“ඒක විශ්වාසවන්ත වැඩපිළිවෙළක්. ඒ නිසා අපි හැමෝටම එකට ඉන්න පුළුවන්” මෛත්‍රී පැහැදිලි කරන්න විය.

චම්පික – විජේදාස ගැටුමක්

මේ දිනවල කැබිනට් රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පැවැත්වෙන්නේ නැත. අයවැය විවාදයට සහභාගීවන ඇමැතිවරුන්ගේ පහසුව වෙනුවෙන් කැබිනට් රැස්වීම පවත්වන්නේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකය. මේ සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකය.
දූෂණ විරෝධී කමිටු ‍ලේකම් කාර්යාලයේ කාලය දීර්ඝ කිරීමටත් එයට දී ඇති බලතල තවදුරටත් වැඩි කිරීමටත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහය.
“මේ ආණ්ඩුව බලයට පත්වුනේ දූෂණ වංචා නැති කරනවාය කියලයි. ඒත් අපිට තවම ලොකු දෙයක් කරන්න පුළුවන් වෙලා නැහැ. දූෂිතයින්ට දඬුවම් දෙන්න ඕන. බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් වන නඩු කටයුතු සඳහා වෙනම විශේෂිත අධිකරණයක් පිහිටුවන්න ඕන” චම්පික යෝජනා කළේය.
“අපේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඊට පිටින් අපිට වැඩකරන්න බැහැ. එහෙම විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් මුලින්ම රටේ තියෙන නීති වෙනස් කරන්න සිදුවෙනවා” විජේදාස රාජපක්ෂ නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.
“දූෂණ චෝදනා තියෙන අය සම්බන්ධයෙන් විධිමත්ව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. දූෂණ චෝදනා තියෙන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න මේ තරම් ප්‍රමාද ඇයි” සරත් ෆොන්සේකාද විජේදාසට විරුද්ධව කරුණු කියන්න විය.
“චෝදනා තියෙන අයට පවතින නීතිය යටතේ වුණත් කටයුතු කරන්න පුළුවන්” ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා කීවේය.
“මේ ගැන කටයුතු කරන්න ඇමැතිවරු නැති කමිටුවක් කැඳවලා තීරණයක් ගනිමු. දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙන අයට දඬුවම් දීම ගැන කතා කරන්න මම අගමැතිතුමාත් එක්ක ලබන සතියේදී සාකච්ඡාවක් තියන්නම්. ඒ සාකච්ඡාවේදී අපිට තීරණයක් ගන්න පුළුවන්” කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ උණුසුම අඩුවූයේ මෛත්‍රීගේ එම කතාවෙන් පසුවය.
“සමාජ ජාල වබේ අඩවි නියාමනය කිරීමේ වැඩසටහනක් ඕන. මහින්දගේ කාලයේදී කරන්න බැරිවුණ දේවල් දැන් කරනවා. ලංකා ඊ නිව්ස් එක පිටරට ඉඳගෙන මඩ ගහනවා. එක එක පුද්ගලයින්ගෙන් මුදල් අරගෙන තමයි මේ මඩ ගහන්නේ” විජයදාස කීවේය.

අන්තවාදී කණ්ඩායම් ගැන කැබිනට්ටුවේ අවධානය

අන්තවාදී කණ්ඩායම් ගැන විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාව ගැන කැබිනට් මණ්ඩලයේදීද අවධානය යොමුවිය. විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා සංඛ්‍යා‍ලේඛන ඉදිරිපත් කරමින් එම කතාව කර තිබුණේය. අයි.එස්. සංවිධානයට බැඳුණු ශ්‍රී ලාංකිකයින් පිළිබඳ බුද්ධි අංශ දුන් තොරතුරු ඇමැතිවරයා වාර්තා කර තිබුණේය. එහෙත් එම කරුණු වාර්තා කර තිබුණේ මීට වසර එකහමාරකට පමණ පෙරදීය. විජේදාස පාර්ලිමේන්තුවට බුද්ධි අංශ උපුටා දක්වමින් කරුණු වාර්තා කළත් ඔහු වාර්තා කර තිබුණේ දැනට වසර එකහමාරකට පෙර ඉදිරිපත් කර තිබූ වාර්තාවක්ය.
“විජේදාස ඇමැතිතුමා කළ ප්‍රකාශය නරකයි. දැන් අපේ රට දිහා ලෝකය බලන්නේ වෙනම විදියකටයි. අපේ රටේ දැන් ත්‍රස්තවාදය නැහැ. එවැනි තත්ත්වයක් ඇතුළේ මේ වගේ ප්‍රකාශයක් කරපු එක අපට අවාසියි” මංගල කීවේය.
“මොනවාවුණත් අන්තවාදී සංවිධාන ගැන සොයන්න ඕන”චම්පික කීවේය.
“රට ගැන දැන් හොඳ මතයක් ලෝකයේ තියෙනවා. ස්ථාවර රටක් තියෙන්නේ. අපේ ඇමැතිවරුත් වගකීමකින් යුතුව ප්‍රකාශ කරන්න ඕන. නැතිනම් විදේශ ආයෝජකයෝ මේවා ගැන බය වෙනවා. මුස්ලිම් ජනතාව තැතිගන්නවා. කාලයක් අර සිවුරක් දාගනිපු කෙනෙක් කරපු වැඩ මතකයිනේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

මෛත්‍රීගෙන් ‍පොලිස්පතිට දොස්

‍පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති කේ.එල්.එම්. සරත්චන්ද්‍ර පසුගිය සතියේදී අත්අඩංගුවට ගත්තේ විශ්‍රාම ගැනීමෙන් පසුව මාස එකහමාරක කාලයක් ජීප් රථයක් භාවිත කිරීමේ චෝදනාව මතය. ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හා වත්මන් ‍පොලිස්පතිවරයා අතර ඒ කාලයේ සිට එතරම් හිත හොඳක් තිබුණේ නැති බව පැවැසේ. මේ නිසා මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ ගැන දේශපාලන ලෝකයේත් කතාබහට ලක්වී තිබුණේය.
මේ අතර සරත්චන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවිට ඒ ගැන මෛත්‍රීටත් තොරතුරු ලැබි තිබුණේය. වහාම මෛත්‍රී ‍පොලිස්පති පූජිත ජයසුන්දරට දුරකථන ඇමතුමක් ගත්තේය.
“එස්.ටී.එෆ්. එකේ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඇයි” මෛත්‍රී ඇසුවේය.
“විශ්‍රාම ගියාට පස්සේ නිල වාහනය ළඟ තියාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට අරගෙන තියෙනවා” පූජිත උත්තර දුන්නේය.
“මේවා ‍පොලිස් දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් කරන්න පුළුවන් දේවල්නේ. ඕවා දෙපාර්තමේන්තුවක් ඇතුළේ අභ්‍යන්තරිකව පරීක්ෂණයක් කරන්න පුළුවන් දෙයක්. මේ සිද්ධියේ පාඩුව රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක් විතර. ඒ වගේ ‍පොඩි ගාණක දේකට මෙහෙම කටයුතු කරන්න එපා. මේ වගේ දේවල් ආයනත මට්ටමින් පරීක්ෂා කරලා අවශ්‍ය කටයුතු කරන්න” මෛත්‍රී කීවේ තරමක් තදිනි.

මහ ඇමැතිවරුන්ට සලකයි

අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මහ ඇමැතිවරුන්ගෙන් මැසිවිලි නැගෙන්නට වූයේ පළාත් සභාවලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන කප්පාදු කර ඇති බවටය. මේ ගැන මෛත්‍රීටත් තොරතුරු ලැබි තිබුණි. ඔහු මහ ඇමැතිවරු පාර්ලිමේන්තුවට කැඳවූවේය. වෙනදාට නොපැමිණෙන සී.වී.
විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාද එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
තමන්ගේ පළාත් සභාවලට වෙන්කර ඇති මුදල් කප්පාදු කිරීම ගැන මහ ඇමැතිවරු කරුණු ඉදිරිපත් කරන්නට වූහ.
“ජනාධිපතිතුමනි, අයවැයෙන් පළාත් සභාවලට වෙන්කරපු මුදල් කපන්නේ නෑ. ඒ සියලුම මුදල් දෙන්නම්. ඒ වගේම ලබන අවුරුද්දේ මැදදී තවත් මුදල් පළාත් සභාවට දෙන්නම්” රවි කරුණානායක ඇමැතිවරයා සහතිකයක් දුන්නේය
“සර් පළාත් සභාවල සෞඛ්‍යයට වෙන්කරපු මුදල් මදි” ශාන් විජයලාල් ද සිල්වා ඇමැතිවරයා කියන්න විය.
“මේ ගැනත් රවි අවධානය යොමුකරන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.
බැඳුම්කර ගනුදෙනුව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සකස් කළ වාර්තාව පසුගිය සතියෙදී අවසන් කළේය. එහි අවසන් සාකච්ඡාව පැවැත්වුණේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයාගේ පන්නිපිටියේ නිවසේය. කමිටුව වාර්තාව සකස් කරන අතරවාරයේදී ලක්ෂ්මන් යාපාගේ බිරිඳ පද්මිණී, කමිටුවේ කතාබහට සවන්දෙන ආකාරයක් ඇමැතිවරු බලා සිටියහ.
“මොකද පද්මිණී අපේ කතාබට හොරෙන් කන්දෙන්නේ. අපි ඔයාගේ මහත්තයා අරගෙන යන්න කතාකරනවා නමෛයි” නිමල් සිරිපාල කීවේය.
“අනේ සර්, අපිට ගම්වල යන්න බෑ. හැමෝම අහන්නේ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට මොනවාත් කරන්නේ නැත්තේ ඇයිද කියලයි. ඉතිං ඒ අයට කියන්න දෙයක් තමයි මම මේ හොයන්නේ” ඇය කීවාය.
“අපේ ජනාධිපතිතුමා වැරදි කරන්නේ නෑ කියලා ඕනම කෙනෙක්ට බය නැතිව කියන්න. ශ්‍රී ලංකාකාරයෝ කියන්නේ රටට දෙයක් දුන්න අය මිස රටින් දෙයක් අරගෙන ගිය අය නොවන බව කියන්න” ඩිලාන් පෙරේරා පැවැසුවේය
මේ කතාබහ අවසන්වූයේ රාත්‍රී භෝජන සංග්‍රහයකිනි.
“ඉට්කා අත්සන් කරන්න කලින් මෙහාට ඉන්දියන් කෝකියෝ ඇවිත්නේ” ඩිලාන් කීවේය.
“කාලා ඉක්මනට යන්න ඕන. වයිෆ් විතරයි ගෙදර ඉන්නේ” ලසන්ත අලගියවන්න පැවැසුවේය.
“ඇයි ඔය තරම් බය. ගෙදර ව්‍යාග්‍රාවත් තියෙනවාද” ඩිලාන් ඇසුවේ සිනාසෙමිනි.

රනිල්ට ඩ්‍රින්ක්ස් ඕනේ නෑලු

අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා උදෑසනම අරලියගහ මන්දිරයට පැමිණියේ ෙදෙනික රාජකාරී කිහිපයක් අවසන් කිරීමටය. බ්‍රහස්පතින්දාට ඔහු හමුවීමට එන ඇමැතිවරු කණ්ඩායමද අරලියගහ මන්දිරයට පැමිණ සිටියහ.
“අය වැය දෙවන වර කියවීමට ඡන්ද 162ක් ගැනීමට හැකියාව ලැබුණා. මෙච්චර ඡන්ද සංඛ්‍යාවක් ඉතිහාසයේ කවදාවත් ලැබිලා නැහැ. අයවැයේදී ආණ්ඩු හදන්න හිටපු ඒකාබද්ධ නඩයේ සියයට අනූනමයක් ඊට පස්සේ පාර්ලිමේන්තුවට ආවේ නෑ” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා සිනාසෙමින් කීවේය.
“අයවැය ඡන්දයට පසුදා රංජන් කරපු සැර කතාවට විරුද්ධව වචනයක්වත් කියන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. ඒ කතාවේදී බොහෝ තැන්වල ස්ථාවර නියෝග පවා කැඩුණා” දයා ගමගේ ඇමැතිවරයා කීවේය.
“මහින්දානන්ද සඳුදා කරපු කතාවත් ඇල්මැරුණු කතාවක්. බැඳුම්කර ගනුදෙනුවට අගමැතිතුමා ගෑව්වෙත් ලාවටයි” වජිර අබේවර්ධන ඇමැතිවරයා පැවසුවේය.
“හම්බන්තොට ඉඩම් අනූනම අවුරුදු බද්දට ආයෝජකයින්ට ලබාදෙනවාට මහින්ද දැන් විරුද්ධ වෙනවා. මිනිස්සු උසිගන්වලා සංවර්ධනය නතර කරන්නයි දැන් හදන්නේ” ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කීවේය.
“මහින්ද සින්නක්කරයට ඉඩම් දුන්නා. අපි යම් අවස්ථාවල අනූනම අවුරුද්දටත් වඩා අඩුවෙන් තමයි ඉඩම් දෙන්නේ. මහින්දට කරන්න බැරිවුණ දේවල් අපි කරනකොට අකුල් හෙළන්න නරකයි. රනිල් විස්තර කළේය.
“වැඩේ සෙට් කරලා අගමැතිතුමාට තියෙන්නේ රෑට ‍පොඩි ඩ්‍රින්ක් එකක් අරගෙන මේවා අධීක්ෂණය කරන එක විතරයි” පී. හැරිසන් කීවේ සිනාහඬ මැදය.
“මට නම් රාජකාරී කරන්න ඩ්‍රින්ක්ස් ගන්න ඕන වෙන්නේ නෑ” රනිල් සිනා හඬ මැදම කීවේය.
“මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද වැඩිකරන්න කියලා අගමැතිතුමා කියපු කතාවට ඒකාබද්ධ නඩය වැරදි අර්ථකතන දෙනවානේ” වජිර පැවසුවේය.
“ආසනයේ වැඩකරන්න රුපියල් ලක්ෂයක් දෙනවා. පුළුවන් වෙලාවට වැටුපත් වැඩි කරලා දෙනවා. දැනටමත් මගේ පඩිය වයිෆ්ගේ පඩියට වඩා අඩුයි. අගමැතිගේ පඩිය වැඩි නොකළොත් ඊළඟ අගමැතිට වාහන බලපත්‍රයත් විකුණන්න වේවි කියලා මම කියන්නේ ඒකයි. සිංගප්පූරුවේ ඇමැති කෙනෙකුට මාසෙට කෝටි එකොළහක් ගෙවනවා. ඉතිං හොරකම් කරන්න ඕන නැහැ” රනිල් මැති ඇමැති වැටුප් වැඩිකිරීම් ගැන පැහැදිලි කළේය.

සජිත්ට හොඳ අය

නව උදාගම්මාන වැඩපිළිවෙල යටතේ පළමු උදාගම්මානය ලෙස අනුරාධපුර දෙවනපෑතිස්ගම විවෘත විය. එම ගම්මානයට නමක් දැමීම ගැන මුලදී නොයෙක් අදහස් මතුවී තිබුණි.
“මේකට අපි ප්‍රේමදාස අනුස්මරණ ගම කියලා දාමු” නිවාස අධිකාරියේ නිලධාරීහු යෝජනා කළහ.
“ඒක හරි නැහැ. දෙවනපෑතිස්ගම කියලා ඒක නම් කරමු” සජිත් කළ යෝජනාවට සියල්ලෝම එකඟත්වය පළ කළහ.
මෙම උදාගම්මානය විවෘත කරන අවස්ථාවේදී නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරවරයාගේ කටයුතු ගැනත් අවධානයට යොමුවිය.
“මේ කළමනාකාරවරයා ශ්‍රී ලංකා කාරයෙක්, විමල් වීරවංශගේ කෙනෙක් කියලා කට්ටිය කිව්වා. එයාට කිසිම විදියකට සලකන්න එපා කියලත් සමහරු කිව්වා. එයා මේ වැඩ ලස්සනට කරලා තියෙනවා. මෙයා මල් ‍පොහොට්ටුවේ නමෛයි ‍පොට්ටු අම්මාන්ගේ වුණත් කමක් නෑ. මගේ නිවාස අධිකාරියේ වැඩ කරනවානම් මට ඒ ඇති. මට ඕනෑ කයිවාරුකාරයෝ නමෛයි. හොඳට වැඩකරන්න පුළුවන් වැඩකාරයෝ තමයි මට ඕන. ඒ අයගේ දේශපාලනය මට අදාළ නෑ” සජිත් තමන් අසල සිටි අයට කීවේය.

මහින්දගේ කකුල පෑගූ අය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 71 වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සිකුරාදාටය. ඒ වෙනුවෙන් කැලණි විහාරයේ ආශිර්වාද පූජාවක් පැවතිණි. පාර්ලිමේන්තුවේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැලණියට ගියේ එකම බස් රථයකිනි. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සූදානම් කර තිබූ බස් රථයෙන් ආසන තිස් හයක් පමණක් තිබුණත් ඊට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් බස් රථයට ගොඩවීම නිසා ඇතැම් අය ගියේ පාපුවරුවේ වාඩිවෙමිනි.
බස් රථයට නැගුණ අවස්ථාවේ සිට පිරිස ගීත ගයනා කරන්නට වූහ. තමන්ගේම ගීතයක් වන “ඔබ සිනාසුණත් ඇති” ගීතය ගායනා කළේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයාය.
“අයියා, ඔය සිංදුව කියන්නේ ගෙදර උන්දෑටද? නැතිනම් වෙන කෙනෙකුටද” නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා හඬ නගමින් ඇසුවේය.
මේ අතර කැලණියට පිරිස ළඟා වනවිට තේ රැගෙන දෙන්නැයි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගෙන් සියල්ලෝම ඉල්ලා සිටියහ. එහෙත් තේ ලබාදීමේ සූදානමක් ප්‍රසන්න රණවීරට තිබුණේ නැත.
“තේ අරගෙන දුන්නේ නැතොත් මර්වින් සිල්වාට කියලා කැලණියේදී හූ කියවනවා” රෝහිත අබේගුණවර්ධන තර්ජනයක් කළේය.
“හරි… හරි… මම තේ අරගෙන දෙන්නම්” යැයි කී ප්‍රසන්න රණවීර තේ බිමට බස් රථය නතර කළේය. එහෙත් බස් රථය නතර කළ තැන සිට තේ තිබූ කඩයට සැළකිය යුතු දුරක් පයින් යාමට සිදුවිය.
“තේ බොන්න යන ගමනත් පාද යාත්‍රාවේ යනවා වගේනේ” යැයි කියමින් පිරිස තේ කඩයට ළඟාවූහ.
“මෙන්න හොඳ කෑමක් තියෙනවා” තේ කඩයේදී ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා පෙන්වූයේ විස්කිරිඤ්ඤා බෝතලයකි. පියල් නිශාන්ත විස්කිරිඤ්ඤා පැකට් කීපයක් ගෙන පිරිසට බෙදා දුන්නේ “අදට ඔච්චරයි” කියා සිනාසෙමිනි.
මන්ත්‍රීවරු පිරිස කල්ඇතිව කැලණි විහාරයට පැමිණියත් මහින්ද එහි පැමිණියේ රාත්‍රී අටට පමණය. මහින්ද කැලණි විහාර දොරටුවේ සිට විහාරයට රැගෙන ගියේ පෙරහරකිනි. පෙරහරේ මහින්ද අසලින් ප්‍රසන්න රණතුංගත්, ප්‍රසන්න රණවීරත් වූහ. මහින්ද අසලට ඒමට අවට සිටි පිරිස් උත්සාහ කිරීම නිසා එක්වරම දැඩි තදබදයක් ඇතිවිය. මේ තදබදය අස්සේ ප්‍රසන්න රණවීර මහින්ද අසලටම තල්ලුවී ගියේය. ඔහුට මහින්දගේ කකුලත් පෑගුණි. තමන්ගේ කකුල කිසිවෙක් විසින් පාගනු දුටු මහින්දගේ මුහුණ එක්වරම අඳුරුවූ අතර පිටුපස හැරී බැලුවේ තමන්ගේ කකුල පෑගුවේ කවුරුන්ද කියාය.
මහින්ද පිටුපස බැලූ ආකාරය එතරම් සුභදායක නොවූ නිසා “මෙන්න මෙයා” යැයි කියමින් ප්‍රසන්න රණවීර, ප්‍රසන්න රණතුංග දෙසට ඇඟිල්ල දිගු කළේය. ප්‍රසන්න රණතුංගත් ප්‍රසන්න රණවීර දෙසට හැරී ඔහුට ඇඟිල්ල දිගු කළේය. ප්‍රසන්නලා දෙදෙනා එකිනෙකාට ඇඟිල්ල දිගුකරනු දුටු මහින්ද සිනහව නවතාගත්තේ අසීරුවෙනි.

ජොනී දුක් වෙලා

මහින්දගේ ආශිර්වාද පූජාවෙන් පසුව නාමල් පිටත්ව යාමට සූදානම් වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමගය.
“කොහේද දෙන්නා යන්න හදන්නේ” ප්‍රසන්න ඇසුවේය.
“අපිට ‍පොඩි වැඩක් තියෙනවා. ඒකට යන්නේ” නාමල් කීවේය.
“මොකද මල්ලී නඩුවක කන්සල්ටේෂන්ද” ප්‍රසන්න අසන විට නාමල්ද ඔව් යැයි උත්තර දුන්නේය.
“අපි නොදන්න කන්සල්ටේෂන්” යැයි කියමින් ප්‍රසන්න නාමල්ට විහිළු කරන්න විය.
“අයියේ උඹේ කට තමයි කට. ඉඳපන් ලොක්කට කියලා සතියක් විතර ඇතුළට දාලා කට වස්සවන්න” නාමල් සිනාසෙමින් කීය.
“අ‍පෝ ප්‍රසන්න තවම එක දවසක්වත් ඇතුළට ගියේ නැද්ද? අපරාදේ. එක දවසක් හරි ඇතුළට ගියේ නැතොත් ඔය ජීවිතෙන් වැඩක් නෑ. අපරාදේ. පව් මල්ලි උඹ” ජොන්ස්ටන් කීවේ සිනාසෙමිනි.

බන්දුලගේ සෙරෙප්පු දෙක උස්සලා

කැලණියේ පූජාව අවසන් කළ මහින්ද ගියේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයාගේ නිවසටය. සිසිරගේ නිවසේ කේක් ගෙඩි දෙකක් කැපීමට සූදානම් කර තිබුණි. එක් කේක් ගෙඩියක් සිසිර ජයකොඩි රැගෙන විත් තිබූණි. අනෙක ගෙනවිත් තිබුණේ ප්‍රසන්න රණවීරය. මල් ‍පොහොට්ටු දෙකක හැඩය ගත් කේක් ගෙඩිය මහින්ද කැපුවේ හැපි බර්ත්ඩේ ගීතය ගායනා කරද්දීය.
සිසිරගේ නිවසින් රාත්‍රී ආහාරය ගත් මහින්ද, ලොහාන් රත්වත්තේ ඇතුළු කිහිපදෙනෙක් අනුරාධපුරය බලා පිටත්වූහ. මේ අතර සිසිරගේ නිවසේ සිට ආපසු යාමට සූදානම් වූ බන්දුල ගුණවර්ධන තමන්ගේ සෙරෙප්පු දෙක සෙව්වේය. එහෙත් කිසිවෙක් ඔහුගේ සෙරෙප්පු දෙක දමාගෙන ගොස් තිබුණි.
“මර්වින් ලොක්කාවත් මේ පැත්තට ආවද දන්නේ නෑ” බන්දුල නැතිවූ සෙරෙප්පු සොයනු දුටු ප්‍රසන්න රණවීර කීවේය.
“නෑ… නෑ… ඕක රවිගේ වැඩක්. මේ දවස්වල බන්දුල එක්ක වැඩියෙන්ම තරහ රවිනේ” එතැන සිටි තවත් අයෙක් කියන්න විය.
බන්දුල කොතරම් සෙව්වත් තමන්ගේ සෙරෙප්පු දෙක සොයාගැනීමට නොහැකි විය. පසුව ඔහු වාහනයට ගියේ එතැන සිටි වෙනත් අයෙකුගේ සෙරෙප්පු දෙකක් දමාගෙනය.
පාර්ලිමේන්තුවේ සිට මන්ත්‍රීවරු හතළිහකට වඩා වැඩි පිරිසක් බස් රථයෙන් පැමිණියත් ආපසු යනවිට බස් රථයේ සිටියේ මන්ත්‍රීවරු තිදෙනෙක් පමණි. ඒ පියල්, නිරෝෂන් හා ශ්‍රියානි විජේවික්‍රමය. ඔවුන් තිදෙනා බස් රථයෙන් ටික දුරක් එනවිට ශ්‍රියානි විජේවික්‍රම කෑගැසුවේ තමන්ගේ ජංගම දුරකථනය සිසිරගේ නිවසේ දමා ආ බවය. ඒ අනුව බස් රථය නැවත හරවාගෙන පැමිණ ජංගම දුරකථනය සොයාගෙන නැවත පාර්ලිමේන්තු සංකීර්ණය අසලට ගියේ රෑ දොළහට පමණය.

මහින්ද චීනයට ගිය හැටි

මහින්ද බදාදා උදෑසන 7.10ට යූ එල් 882 දරන ගුවන් යානයෙන් චීනය බලා පිටත්ව ගියේ ජී.එල්. පීරිස් හා ලොහාන් රත්වත්තේ සමගය. චීනයට පැමිණි මහින්දට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ට ලැබෙන පිළිගැනීමක් ලැබි තිබුණි. එවැනි පිළිගැනීමක් දීමට අවශ්‍ය සහය දී තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහය.
මහින්දට චීනයේ සංචාරයකට ආරාධනා ලැබූවිට ඔහු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පිළිගැනීමක් සහිතව සංචාරයට එක්වීමට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් මහින්දට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් දීමට අවශ්‍ය කටයුතු යෙදිය යුතු යැයි රනිල් දැඩි ස්ථාවරයක විය. ඒ නිසා මහින්දට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය විය.
මේ අතර මහින්ද චීනයේ කැනකටන් කුලුන නැරඹීමටද ගියේය. එම කුලුන නරඹන අතරවාරයේදී මහින්ද සමග ගිය අයෙකුගේ කැමරාවක් අතට ගෙන ඡායාරූප කිහිපයක් ගැනීමටද අමතක කළේ නැත.
ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි පසුගිය සතියේ දින කිහිපයක් රෝහල්ගතව සිටියේය. ඒ ආහාර විසවීමක් නිසාය. රෝහල්ගතව සිටියත් ඔහුට විවේකීව දින ගණනාවක් සිටීමට නොහැකි විය. ඒ කොරියානු ආධාර මත හම්බන්තොට නිවාස ඉදිකිරීමේ වැඩසටහනකට මුල්ගල තැබිමට තිබූ නිසාය.
“මට උත්සවයකට යන්න තියෙනවා” වෙදආරච්චි රෝහල් බලධාරීන්ට පැවැසීය.
“සර්ට තවම හොඳටම හොඳ නැහැ. ඒ නිසා යන්න දෙන්න බැහැ” වෛද්‍යවරු පැවැසූහ.
“මේක මගේ ගමේ වැඩේ. ඒ නිසා මම කොහොම හරි මේකට යන්න ඕන” කී දිලිප් වෙදආරච්චි බලහත්කාරයෙන්ම රෝහලින් පිටත්විය.
ඔහු උත්සවයට ආවේ සේලයින් දෙන කැනියුලද සහිතවය.
“මොකද සර් මේ” පැමිණ සිටි අය ඇසූහ.
“මම ලෙඩවෙලා හිටියේ. ගමේ වැඩේ නිසා මම සේලයින් බෝතලය ගලවලා තියලා ආවා” වෙදආරච්චි පිරිසට කීය

0Shares

Leave a Reply

Your email address will not be published. Required fields are marked *